යෝෂුවා ඉශ්‍රායෙල්වරුන්ගේ නායකත්වය ගැනීමට ආසන්නව තිබියදී මෝසෙස් විසින් යෝෂුවා ධෛර්්‍යයමත් කරන ආකාරය ද්විතීය කථාව 3 හි අපි දකිමු. යෝෂුවා බියෙන් පසුවූ බව හා මා්සෙස්ගේ තනතුර පුරවාලන්නට තමා නුසුදුසුය යන හැඟීමෙන් සිටි බවට සැකයක් නැත. එබැවින් යෝෂුවාව ධෛර්යමත් කරන්න යයි ස්වාමින් වහන්සේ මෝසෙස්ට කී සේක.

අපි නව ප්‍රධාන අභියෝගයකට මුහුණ දෙනවිට, අප සියලු දෙනා හටම උත්තේජනය වන පිණිස කාලයෙන් කාලයට ධෛර්්‍යයමත් කිරීමේ වචන අවශ්‍ය වේ. නිවසේ හෝ කාර්යාලයේ හෝ අපගේ දෛනික වගකීම් ඉටුකරන විට, අපට අගය කිරීමේ හා පැසසීමේ වචන ද අවශ්‍ය වේ.

සංස්ථාවක ගණකාධිකාරිවරයෙකු සිය දිවි නසාගත් අවස්ථාවේ ඊට හේතුව සෙවීමට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවිය. ආයතනයේ පොත් සෝදිසි කර බැලුවද කිසි අඩුවක් සොයා ගැනීමට නොහැකි විය. ඔහු ලියා තිබූ එක් සටහනක් සොයාගන්නා තුරු ඔහුගේ දිවි නසා ගැනීම පිළිබඳ හෝඩුවාවක් නිරාවරණය වූයේ නැත. එහි ලියා තිබුණේ “අවුරුදු 30 ක් තුළ මට ධෛර්යමත් කිරීමේ එක වචනයක්වත් ලැබුණේ නැහැ. මට දැන් ඇතිවෙලා” යන්නය.

බොහෝ දෙනා කුඩා හෝ යම් අගය කිරීමේ සංඥාවක් බලාපොරොත්තු වෙති. ඔවුන්ට ඔවුන්ගේ වැඩ කටයුතු පිළිබඳ පිළිගැනීමේ වචනයක්, ආදරණීය සිනහවක්, උණුසුම් අතට අත දීමක් හා අවංක අගය කිරීමේ මුහුණේ භාව ප්‍රකාශයක් අවශ්‍ය වේ.

දිනපතා එක් කෙනෙකු හෝ ධෛර්යමත් කිරීමට (චාටු බස් කීමට නොවේ) තීරණය කරගනිමු. අප වටා සිටින, ධෛර්යමත් කිරීමක් සඳහා ආශාවෙන් බලා සිටින අයට උපකාර පිණිස අපි අපගේ කොටස කරමු.