වේදනාවේ ගැටළුව නැමති තම ග‍්‍රන්ථයෙන් සී. එස්. ලුවිස් නිරීක්ෂණය කරන්නේ, අපගේ විනෝදකාලයන්හිදී දෙවියන්වහන්සේ අපට මුමුණන බවත්, අපගේ හෘද සාක්ෂියට කථා කරන බවත් අපගේ වේදනාවලදී මොරදෙන බවත්ය. බිහිරි ලෝකය ප‍්‍රාණවත් කරන උන්වහන්සේගේ ශබ්ද විකාශනය එයයි. බොහෝ විට අපගේ අවධානය වෙනතකට හැරවීමට වේදනාව උපකාර කරයි. එය අපගේ සමීප අවස්ථාවලින් අපගේ සිතිවිලි ඉවත් කර දෙවියන්වහන්සේ අප ජීවිත වල කරන කාරණා වලට සවන්දීමට අප යොමු කරයි. සුපුරුදු ජීවිතය, ආත්මික පාසැලක් බවට හැරේ.

වේදනාකාරී අවස්ථාවන්හිදී පවා ගීතිකාකරු ඉගෙනීමට කැමති හදවතක් නඩත්තු කරගෙන යන ආකාරය අපි පරණ ගිවිසුමෙහි දකිමු. ඒවා සියල්ල දෙවියන්වහන්සේ සූක්ෂමව සැලසුම් කර ඇති බව ඔහු පිළිගනී. ඔහු යටත්කමින් යාච්ඤාකරන්නේ “විශ්වාසකමින් ඔබ මට පීඩා කළ බවත් දනිමි” කියාය (ගීතාවලිය 119:75). යෙසායා අනාගතවක්තෘ වේදනාව දුටුවේ පවිත‍්‍රකිරීමේ ක‍්‍රියාවලියක් ලෙසය. “බලව, මම නුඹ පවිත‍්‍ර කළෙමි. නුමුත් රිදීමෙන් නොවේය; පීඩා නැමති උඳුනේදී නුඹ තෝරාගතිමි” යනුවෙනි (යෙසායා 48:10). එසේම යෝබ් විලාප නැගුවද තම කරදර තුළ දෙවියන්වහන්සේගේ සර්වාධිපත්‍යය සහ ශ්‍රේෂ්ඨත්වය දුටුවේය (යෝබ් 40:42).

වේදනාවේ අත්දැකීම දන්නේ අප පමණක් නොවේ. දෙවියන්වහන්සේ මිනිස් ස්වභාවයක් ගෙන විශාල ලෙස වේදනා වින්ද සේක. “එසේය, ඊට නුඹලා කැඳවනු ලැබුවහුය. මක්නිසාද ක‍්‍රිස්තුස්වහන්සේ නුඹලා නිසා වධ විඳ නුඹලා උන්වහන්සේගේ අඩිපාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක්දී ගියසේක” (1 පේතෘස් 2:21). ඇණ සිදුරු කැළල් ඇති තැනන්වහන්සේ අපට සමීපව සිටිනසේක. උන්වහන්සේ අපගේ වේදනාවේදී අපට උගන්වා අපට සහනය දෙනු ඇත.