වසර ගණනාවකට පෙර මාගේ මිතුරෙකු සමඟ මම විට්නි කන්ද තරණය කිරීමට පිටත්වුණෙමි. එය අඩි 14,505 ක් උසය. එක්සත් ජනපදයේ යාබද කඳුවලින් උසම කන්ද එයයි. අප විට්නි කඳු පාමුලට රෑ බෝ වීමට ආසන්නයේ පැමිණ අපගේ නිදන ආම්පන්න සූදානම් කරගෙන පසුදා අරුණෝදයේ, කන්ද නැගීමට පෙර නින්දක් ලබා ගැනීමට උත්සාහ කළෙමු. විට්නි කන්ද තාක්ෂණික තරණය කිරීමක් නොව සැතපුම් 11ක නැග්මක වෙහෙසකර පාගමනකි.

තරණය අසීරු වුවද විනෝදජනකය. විස්මජනක දර්ශනද අලංකාර නීල වර්ණ ජලාශද හරිත වර්ණ තණ පිට්ටනිද මගදී අපට හමුවේ. එහෙත් මාර්ගය දීර්ඝවූ වෙහෙසකාරවූ පාද සහ පෙනහළු වලට පරීක්ෂණයකි. දවස ගෙවී යමින් මාර්ගය අවසානයක් නොමැතිව අප ඉදිරියේ දිස්වන විට ආපසු හැරීමට මට සිතුනි.

එහෙත් ඉඳහිට කඳුමුදුනේ දර්ශන මා ඇස ගැටුණි. සැම පියවරක්ම මා ඊට සමීප කරන බව මට වැටහුණි. මා ඉදිරියට ගමන් කරන විට මා එයට ළඟාවෙනු ඇත. එම සිතුවිල්ල මා ඉදිරියට තල්ලු කළේය.

පාවුල් අපට ස්ථීරව කියන්නේ “අප අදහාගත් කාලයේදී තිබුණාට වඩා දැන් ගැළවීම අපට ළංව තිබේ” කියාය (රෝම 13:11). සැම පියවරක්ම උච්චත්වයට ළංවන්නාවූ එම ශ්‍රේෂ්ඨ දිනයට අප ගෙන එන්නේය. එදින අපගේ ගැළවුම්කරුවාණන්ගේ මුහුණ බැලීමට අපට හැකිවේ. එම සිතුවිල්ල අප ඉදිරියට ගෙන යාමට රුකුලකි.