මා හඳුනන වෛද්‍යවරු දක්ෂ, කාර්යක්ෂම, සානුකම්පිත අය ය. බොහෝ විට ඔව්හු මාගේ වේදනාව නැති කර ඇත. එහෙයින් ඔවුන් සතුව රෝග නිරීක්ෂණයට, ඖෂධ නියම කිරීමට, කැඩුණු අස්ථී සැකසීමට, තුවාල මැසීමට, ඇති නිපුණතාව ගැන මම දෙවියන්වහන්සේට කෘතඥවෙමි. එහෙත් ඉන් අර්ථවත් වන්නේ මම දෙවියන්වහන්සේ මත මාගේ ඇදහිල්ල නොතබා ඔවුන් කෙරෙහි විශ්වාසය තබන බව නොවේ.

දෙවියන්වහන්සේ පමණක් දන්නාවූ හේතු මත උන්වහන්සේ තම මැවීම ගැන සැලකීම සඳහා මනුෂ්‍යයන්, තම සහකරුවන් කරගත්සේක (උත්පත්ති 2:15). වෛද්‍යවරුද එ් අතර සිටිති. වෛද්‍යවරු වෛද්‍ය විද්‍යාව හදාරමින් දෙවියන්වහන්සේ ශරීරය සැලසුම් කළ ආකාරය ඉගෙන ගනිති. ඔව්හු අප හොඳ සෞඛ්‍ය තත්ත්වයක තැබීමට එම දැනුම භාවිතා කරති. එහෙත් අප හොඳ තත්ත්වයකට ගෙන ඒමට වෛද්‍යවරුන්ට හැකිවීමට ඇති එකම හේතුව දෙවියන්වහන්සේ සුවවීමට හැකියාවක් අප තුළ පිහිට වීමය. කැපුම් සුව නොවුනා නම් වෛද්‍යවරු නිෂ්ඵල වෙති.

දෙවියන්වහන්සේ අපගේ ශරීර ක‍්‍රියාකාරී වීම සඳහා මවා ඇති ආකාරය විද්‍යාඥයින්ට ඉගෙනීමට පුළුවන. එසේම අප නැවත යථා තත්ත්වයට පත් කිරීමට හෝ සුව කිරීමට විවිධ ඖෂධ ක‍්‍රම සොයා ගැනීමටද ඔවුන්ට හැකිය. එහෙත් සුවකරන්නා ඔවුන් නොව දෙවියන්වහන්සේය (නික්මයාම 15:26). වෛද්‍යවරු දෙවියන්වහන්සේගේ මුල් අරමුණ සහ සැලසුමට සහය දක්වනවා පමණකි.

එහෙයින් මම විද්‍යාව සහ වෛද්‍යවරුන් ගැන කෘතඥවෙමි. එහෙත් මාගේ ප‍්‍රශංසාව සහ ස්තූතිය යන්නේ දෙවියන්වහන්සේටය. පිළිවෙලක් ඇතිව විශ්වය මැව්වේ උන්වහන්සේය. මොළයේ ක‍්‍රියාකාරීත්වය සොයා ගැනීමට පුළුවන් මොළයක් සමඟ උන්වහන්සේ අප මැවූසේක. එහෙයින් මා විශ්වාස කරන්නේ සියලු සුවය දිව්‍ය සුවය බවය. ඊට හේතුව දෙවියන්වහන්සේගෙන් තොර කිසි සුවයක් නොමැති වීමය..