කිතුනු ජීවිතය මා ආරම්භ කළ කාලයේ එම කැපවීම මාගෙන් බලාපොරොත්තු වූ දේවල් නිස මාගේ පැරණි පාප මාර්ගවලට නොයා එක් වසරක්වත් සිටින්නට පුළුවන්දැයි මම කල්පනා කළෙමි. එහෙත් පහත ඇති දේව වාක්‍යය මට උපකාර විය.”ස්වාමීන්වහන්සේ නුඹලා වෙනුවෙන් සටන්කරනසේක. නුඹලා නිශ්ශබ්දව සිටිය යුතුය” (නික්මයාම 14:14). ඉශ‍්‍රායෙල්වරු මිසරයේ වහල්කමින් නිදහස්වූ සැනින් ඵාරාවෝ ඔවුන් පන්නාගෙන එන විට මෝසෙස් ඔවුන්ට පැවසූ වචන එ්වාය. ඔව්හු බියට පත්ව කළකිරී සිටියෝය.

නවක ඇදහිලිවන්තයෙකු ලෙස මාගේ ලෝකය පරීක්ෂාවලින් වටවී තිබියදී “නිශ්ශබ්ද” වීමට දී ඇති මෙම කැඳවීම මට දිරිය ගෙනදුනි. දැන් වසර 37කට පසු අවපාතය පිරි අවස්ථා මධ්‍යයෙහි නිශ්චලව සාමකාමීව සිටීම මගේ කිතුනු ජීවිතයේ අඛණ්ඩ ආශාව වේ. “නිශ්චලවව්, මම දෙවියන්වහන්සේ බව දැනගනිව්” (ගීතාවලිය 46:10). අප නොසෙල්වී සිටින විට අප දෙවියන්වහන්සේ දැන ගන්නෙමු. “දෙවියන්වහන්සේ අපගේ සරණ හා ශක්තියය. දුකේදී ඉතා ළංවූ පිහිටක්ය” (1 පදය). දෙවියන්වහන්සේගෙන් තොරවූ විට අප දුර්වල බව තේරුම්ගෙන අපි උන්වහන්සේට භාරවෙමු. “මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි” යනුවෙන් පාවුල් අපොස්තුළුවරයා පවසයි (2 කොරින්ති 12:10).

දිනපතා අපි මානසික පීඩන සහ වෙනත් අසහනකාරී තත්ත්වයන් තුළින් යන්නෙමු. එසේවුවද අප රැකබලා ගැනීමට උන්වහන්සේ දී ඇති පොරොන්දුව උන්වහන්සේ විශ්වාසවන්තව ඉටුකරන බව අපට විශ්වාස කළ හැක. නිශ්චලව සිටීමට අප ඉගෙන ගනිත්වා!