වෘත්තීමය මළල ක‍්‍රීඩක ක‍්‍රිස් සැන්ඩර්ස්ට වෘත්තියෙන් ඉවත්වීමට ආබාධයක් හේතුවූ විට හිටපු හමුදා නිලධාරීන් පිරිසක් අමතා ඔහු කීවේ තමා කිසි දිනෙක යුද්ධයකට ගොස් නැති වුවද “මම සංක‍්‍රාන්තියේ පීඩා තේරුම් ගතිමි” කියාය. රැකියාවක් අහිමිවීම, විවාහයක් බිඳී යෑම, බරපතල රෝගයක් හෝ ආර්ථික පසුබෑමක් වැනි සෑම ප‍්‍රධාන බාධාවක්ම අපට අභියෝග ගෙන එයි. ක‍්‍රීඩකයා සොල්දාදුවන්ට කීවේ ඔබ අලුත් ජීවිත ක‍්‍රමයකට යන විට සාර්ථක වීමට ක‍්‍රමය නම් උදව් සොයා ලබා ගැනීම කියාය.

අප සංක‍්‍රාන්ති සමයක සිටින විට යෝෂුවා පොත කියවීමට අනුබල දිය හැකිය. වසර 40ක් එහෙ මෙහෙ යෑම සහ විවිධ පසුබෑම් වලින් පසු දෙවියන්වහන්සේගේ සෙනඟ පොරොන්දු දේශයට අවතීර්ණ වීමට සූදානම් වූහ. ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ නායකයා මිය ගොස් තිබිණ. ඔහුගේ සහායක යෝෂුවා දැන් නායකත්වය අතට ගෙන ඇත.

දෙවියන්වහන්සේ යෝෂුවාට කීවේ “ශක්තිමත්ව ඉතා ධෛර්යමත්ව සිටින්න… මාගේ මෙහෙකරුවූ මෝසෙස් නුඹට අණ කළ මුළු ව්‍යවස්ථාව ප‍්‍රකාර කරන්ට බලාගන්න පිණිස ශක්තිමත්ව ඉතා ධෛර්යමත්ව සිටින්න. නුඹ යන සෑමතැනදීම නුඹට ශුභ සිද්ධ වන පිණිස එයින් දකුණටවත් වමටවත් නොහැරෙන්න” (යෝෂුවා 1:7) යනුවෙනි. සෑම අවස්ථාවකදීම යෝෂුවාගේ නායකත්වයට පර්වතයක් මෙන් අත්තිවාරම ලැබෙනු ඇත්තේ දේව වචනයෙහි ඇති මඟපෙන්වීමෙනි.

ස්වාමීන්වහන්සේ යෝෂුවාට දුන් ආඥාව සහ පොරොන්දුව අපටද අදාල වේ. “ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්න. තැතිනොගනින්න. නොකැළඹෙන්න, මක්නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේක” (9 පදය).

සෑම සංක‍්‍රාන්තියකදීම උන්වහන්සේ අප සමඟ සිටිනසේක.