කාලෙබ් අසනීපව සිටියේය. ඔහු දැඩි ලෙස අසනීපව සිටියේය. ස්නායු පිළිබඳ රෝගයක් සෑදී වයස 5 දරුවා තාවකාලික අංශභාග රෝගයෙන් වේදනා වින්දේය. කනස්සල්ලට පත් දෙමව්පියෝ යාච්ඤා කර බලා සිටියෝය. කාලෙබ් සෙමින් සුවය ලබා මාස ගණනාවකට පසු වෛද්‍යවරු පාසැල් යාමට අවසර දුන් විට ඔහුට හැකිවූයේ සෙමින් වැනෙමින් ඇවිදීමටය.

එක් දිනක් කාලෙබ්ගේ පියා පාසැලට ගිය විට තම පුතා අමාරුවෙන් පිට්ටනියේ පඩිපෙළ බසිනවා ඔහු දුටුවේය. එවිට කාලෙබ්ගේ කුඩා මිත‍්‍රයා ටයිලර් පැමිණෙනවා ඔහු දැක්කේය. මුළු විවේක කාලය තුළම ටයිලර් කාලෙබ් සමඟ සිටියේය. අනිත් දරුවන් දුවපැන සෙල්ලම් කරන අතර ටයිලර් සෙමින් තම දුර්වල මිතුරා සමඟ පිට්ටනියේ ඇවිද්දේය. ටයිලර් වැනි මිතුරෙකු යෝබ්ද බලාපොරොත්තු වන්නට ඇත. එ් වෙනුවට ඔහුට සිටියේ ඔහු වරද කර ඇතැයි සිතූ මිතුරන් තිදෙනෙකි. “නිදොස්ව සිට විනාශ වුනේ කවුද?”යි එලිපස් ඇසීය (යෝබ් 4:7). එවැනි චෝදනා යෝබ්ව පෙළඹෙව්වේ තිත්තකමින් “නුඹලා සියල්ලෝම දුක්දෙන සැනසිලිකාරයෝ” යැයි ප‍්‍රකාශ කිරීමටය (16:2).

ඔව්හු ක‍්‍රිස්තුස්වහන්සේ මෙන් නොවූහ. කුරුසිපත් වන දිනයේ සන්ධ්‍යාවේ උන්වහන්සේ තම ගෝලයන් සැනසීමට කාලය ගත්සේක. ඔවුන් සමඟ සාදාකාලයට සිටින්නාවූ ශුද්ධාත්මයාණන් එවන බවට පොරොන්දුවූසේක (යොහන් 14:16). “නුඹලා අනාථව නාරින්නෙමි, නුඹලා වෙතට එමි”යි සැනසූසේක (18 පදය). තම පියාණන් වෙතට යාමට ටික වේලාවකට පෙර උන්වහන්සේ පැවසුවේ “මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමි” යනුවෙනි (මතෙව් 28:20). අප වෙනුවෙන් මිය ගිය තැනන්වහන්සේ අප සමඟ පියවරෙන් පියවර පියනගන සේක.