පාපැදියකින් ගෙන යාහැකි බර විස්මය ජනකය. විශේෂයෙන් ටේ‍්‍රලරයක් සතු සාමාන්‍ය වැඩිහිටියෙකුට (යම් අධිෂ්ඨනයක් ඇතිව) පැයට සැතපුම් 10 වේගයෙන් රාත්තල් 300ක බරක් ගෙනයාහැකිය. එක් ගැටළුවක් පමණක් තිබේ. ඊට වඩා වැඩි බරක් ගෙන යන්නේ නම් වේගය අඩුවේ. පුද්ගලික බඩු බාහිරාදිය හෝ උපකරණ රාත්තල් 600ක් ගෙන යන අයෙකු ඉදිරියට යන්නේ පැයට සැතපුම් 8ක වේගයකිනි.

වනාන්තරයේදී මෝසෙස් වෙනත් වර්ගයේ බරක් ගෙන ගියේය. එය හැඟීම් පිළිබඳ බරකි. එය ඔහු එක්තැන නවත්වා තැබීමට ඉවහල් විය. මන්නා වෙනුවට මස් වලට ඇතිවූ දැඩි ආශාව ඉශ‍්‍රායෙල්වරුන්ට කඳුළු පමණක් ඉතිරි කළේය. ඔවුන්ගේ නොනවතින විලාපය අසා සියල්ල එපාවූ මෝසෙස් දෙවියන්වහන්සේට කීවේ “තනියම මේ මුළු සෙනඟ දරන්ට මට බැරිය. මක්නිසාද එය මට බර වැඩිය” කියාය (ගණන් කථාව 11:14).

තනියම ප‍්‍රශ්න විසඳීමට අවශ්‍ය මූලාශ‍්‍ර මෝසෙස්ට නොමැති විය. දෙවියන්වහන්සේ ප‍්‍රතිචාර දැක්වූයේ ඔහු සමඟ සිට බර බෙදා ගැනීම සඳහා මිනිසුන් 70ක් තෝරා ගන්න කියාය. “නුඹ තනියම සෙනඟගේ බර නූසුලා (මිනිසුන්) නුඹ සමඟ බර උසුලන පිණිස…” (17 පදය).

යේසුස්වහන්සේගේ අනුගාමිකයන් ලෙස අපගේ බර තනිවම දරාගැනීම අවශ්‍ය නොවේ. අපට යේසුස්වහන්සේ සිටී. උන්වහන්සේ සැමවිට උපකාර කිරීමට කැමතිය. උන්වහන්සේට එය කළ හැක. එසේම ක‍්‍රිස්තුස්වහන්සේ තුළ සහෝදර සහෝදරියන්ද උන්වහන්සේ අපට දී ඇත. අපට බර දෙන දේ අප උන්වහන්සේට දුන් විට උන්වහන්සේ ප‍්‍රඥාව සහ උපකාරය අපට දෙනසේක.