පළමු ලෝක යුද්ධයේ සේවය කළ සී. එස්. ලුවිස් හමුදා සේවයේ අමාරුකම්වලට අමුත්තෙකු නොවීය. දෙවන ලෝක යුද්ධ කාලයේ ප‍්‍රසිද්ධ දේශනාවකදී ඔහු චතුර ලෙස කියා සිටියේ සොල්දාදුවෙකු මුහුණ දෙන කම්කටොලු ගැනය. “ක‍්‍රියාකාරී සේවයේ නිරත හමුදා භටයෙකුගේ ජීවිතයේ අප බිය වන සියලු වර්ගවල කරදර එකතුවී ඇත. රෝගයකදී මෙන් එය වේදනාව සහ මරණ තර්ජන ගෙන එයි. දරිද්‍රතාවය මෙන් එය සිටීමට තැනක් නොමැතිවීම, ශීතල, උෂ්ණය, පිපාසය සහ සාගින්න තුළින් තර්ජනය කරයි. වහල්කම මෙන් එය දැඩි වෙහෙස ලැජ්ජාව අසාධාරණය සහ එකාධිපති පාලනය ගෙන එයි. පිටුවහල් කිරීමේදී මෙන් එය ඔබ පේ‍්‍රමකරන සියල්ලෙන් වෙන්කරයි.”

හමුදා භටයා විඳින දුක් කම්කටොලු ක‍්‍රිස්තුස්වහන්සේගේ මෙහෙයේදී කිතුනුවා මුහුණ දිය හැකි අසීරුතා විස්තර කිරීමේ සංකේතයක් ලෙස පාවුල් භාවිතා කරයි. පාවුල් තම ජීවිතයේ අවසානයට පැමිණ ඇත. ශුභාරංචිය නිසා ඔහු වේදනාව දරාගත්තේය. ඔහු තිමෝතිට දිරිය දෙන්නේ ද එසේ කිරීමටය: “ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේගේ යහපත් හේවායෙකු මෙන් දුක් විඳීමට පංගුකාරයෙක් වෙන්න” (2 තිමෝති 2:3).

ක‍්‍රිස්තුස්වහන්සේට සේවය කිරීමට දීර්ඝ ඉවසීමක් අවශ්‍යවේ. අපට දුර්වල සොෟඛ්‍යය, කරදරකාරී සබඳතා, හෝ අසීරු අවස්ථා මුණගැසිය හැකිය. එහෙත් යේසුස්වහන්සේගේ ශක්තිය සමඟ සොල්දාදුවෙකු ලෙස අපි ඉදිරියට යමු. ඊට හේතුව අප මෙහෙ කරන්නේ අප වෙනුවෙන් දිවි පිදූ රජුන්ගේ රජු සහ ස්වාමීන්ගේ ස්වාමීන්ට නිසා බැවිනි.