ජේන් තම පෝටිකෝව යට වාඩිවී බිය ගෙන දෙන ප‍්‍රශ්නයක් ගැන කල්පනා කළාය. මම පොතක් ලිවිය යුතුද? ඇය අන්තර්ජාලයේ සටහන් පලකිරීමද ප‍්‍රසිද්ධියේ කථා කිරීමද අශාවෙන් කළාය. එහෙත් වැඩි යමක් කිරීම දෙවියන්වහන්සේගේ කැමැත්ත යැයි ඇයට සිතිණි. “මෙය කරනවාට දෙවියන්වහන්සේ කැමතිද කියා මම උන්වහන්සේගෙන් ඇසුවා” ඇය කීවාය. ඇය උන්වහන්සේ සමඟ කථා කර මඟපෙන්වීම ඉල්ලුවාය.

ඈ කල්පනා කළේ තම ස්වාමිපුරුෂයා තුළ අසභ්‍ය රූප බැලීමට තිබූ ඇබ්බැහිකම සහ දෙවියන්වහන්සේ ඔහුගේ ජීවිතය සහ ඔවුන්ගේ විවාහ ජීවිතය තුළ ක‍්‍රියාකරන ආකාරය ගැන ලිවිය යුතුදැයි කියාය. ඉන්පසු එය ඔහුට ප‍්‍රසිද්ධියේ අවමානය ගෙනෙනු ඇතැයි ඇය සිතුවාය. “අපි දෙන්නම ලිව්වොත් මොකද?” යනුවෙන් ඇය යාච්ඤා කළාය. ඇය තම ස්වාමිපුරුෂයා වන ක්රේග්ගෙන් ඇසූවිට ඔහු කැමති විය.

තමා කළ පාපය ගැන දාවිත් රජු නොකීවද ඔහු තම අරගල ගැන විවෘත සංවාදයක යෙදිණ. ඔහු ඒවා ගීතයකටද නැගුවේය. “මා නිශ්ශබ්දව සිටි කල… මාගේ ඇට දිය විය” යනුවෙන් ඔහු ලීවේය (ගීතාවලිය 32:3). එහෙයින් ඔහු කීවේ “මාගේ වරද ස්වාමීන්ට කියා දෙන්නෙමි” කියාය. සෑම කෙනාම තමන්ගේ පුද්ගලික අරගල ප‍්‍රසිද්ධ කළ යුතු නැත. එහෙත් දාවිත් තම පාපය කියාදුන් විට ඔහුට සමාදානය සහ සුවය ලැබිණි. දෙවියන්වහන්සේ නමස්කාර කරනු පිණිස එය ඔහු ජ්වලිත කළේය.

ක්රේග් සහ ජේන් කියන්නේ එම කථාව ලිවීමේ ක‍්‍රියාවලිය ඔවුන් දෙදෙනාව වෙන කිසි දිනකටවත් වඩා සමීප කළ බවය. එ් දෙවියන්වහන්සේගේ ස්වභාවයයි. උන්වහන්සේ අපගේ වරදකාරීත්වය ලැජ්ජාව සහ තනිකම තමන්වහන්සේගේ සමාව, දිරිය සහ සහභාගිත්වයට හුවමාරු කිරීමට කැමතිය.