ඕලන්ද චිත‍්‍ර ශිල්පිනියක වන යෝනි ලෙෆෙව්රේ “සුදු බලය” නැමති ප‍්‍රදර්ශනයක් නිර්මාණය කළාය. ඒ නෙදර්ලන්තයේ වියපත් අයගේ ශක්තිය පෙන්නුම් කිරීමටය. ඇය ප‍්‍රාදේශීය පාසැල්වල සිසුන්ට තම සීයලා සහ ආච්චිලා චිත‍්‍රයට නැගීමට කීවාය. ලෙෆෙව්රේට අවශ්‍යවූයේ වියපත් අයගේ “අවංක සහ පවිත‍්‍ර” දර්ශනයකි. දරුවන්ට එය කළ හැකි බව ඈ විශ්වාස කළාය. කුඩාවුන්ගේ චිත‍්‍ර වියපත්වූ අයගේ නැවුම් සහ උද්යෝගිමත් දැක්මක් පරාවර්තනය කළේය. ඔවුන්ගේ ආච්චිලා සීයලා ටෙනිස් ක‍්‍රීඩාවේ යෙදෙන, මල් වවන, චිත‍්‍ර අඳින සහ අනිකුත් බොහෝ දර්ශන ප‍්‍රදර්ශනයේ විය.

පුරාණ ඉශ‍්‍රායෙලයේ සිටි කාලෙබ් මහළු වියේදී ජ්වලිතව සිටියේය. තරුණයෙකු කාලයේ ඔහු ඉශ‍්‍රායෙල් පොරොන්දු දේශය අල්ලා ගැනීමට පෙර එයට හොරෙන් ඇතුල් විය. කානානිවරු පරාජය කිරීමට දෙවියන්වහන්සේ උපකාර කරන බව කාලෙබ් විශ්වාස කළේය. එහෙත් අනෙක් චරපුරුෂයෝ විශ්වාස නොකළෝය (යෝෂුවා 14:8). කාලෙබ්ගේ ඇදහිල්ල නිසා දෙවියන්වහන්සේ ආශ්චර්යවත්ව ඔහුගේ ජීවිතය වසර 45ක් නඩත්තු කළසේක. එහෙයින් ඔහුට කාන්තාර ගමන දරාගෙන පොරොන්දු දේශයට අවතීර්ණ වීමට හැකිවිය. කානාන් දේශයට ඇතුල්වීමට කාලය පැමිණිවිට 85 වියැති කාලෙබ් කීවේ “මෝසෙස් මා යැවූ දවසේදී මෙන්ම අදත් මම ශක්තිමත්ව සිටිමි” කියාය (11 පදය).

අප වයසට යන විට දෙවියන්වහන්සේ අප අමතක කරන්නේ නැත. අපගේ ශරීරය වයස්ගතවුවද අපගේ සෞඛ්‍යය අඩුවුවද දෙවියන්වහන්සේගේ ආත්මයාණෝ දිනෙන් දින අභ්‍යන්තරයෙන් අප අලුත් කරනසේක (2 කොරින්ති 4:16). අපගේ ජීවිත වලට සෑම තලයකදී සහ සෑම වයසකදී වැදගත් කමක් තබා ගැනීමට උන්වහන්සේ හැකියාව දෙනසේක.