ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර ඇති “නිෂ්චලතාවයේ කැම්පි දේවස්ථානය” එම නගර බද පරිසරයේ කැපී පෙනේ. ලී වලින් සෑදූ රවුම් ව්‍යුහය කලබලකාරී පිටත ශබ්ද අවම කරයි. සැලසුම්කරුවෝ මෙම දේවගෘහය නිර්මාණය කළේ නිහඬ නිසල ස්ථානයක් ලෙසය. නගරයේ ශබ්ද වලින් බේරී සිටීමට එය අනගි ස්ථානයකි.

බොහෝ සෙනඟ සමාදානයට ආශා කරති. විනාඩි කිහිපයක නිහඬතාවකින් අපගේ මනස සුව වියහැකිය. එහෙත් බයිබලය උගන්වන්නේ සත්‍ය සමාදානය වන දෙවියන්වහන්සේ සමඟ සමාදානය උන්වහන්සේගේ පුත‍්‍රයාණන් තුළින් පැමිණෙන බවය. පාවුල් අපොස්තුළුවරයා පැවසුවේ “අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකරනු ලැබ අපේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය ඇතුව සිටිමු” කියාය (රෝම 5:1). ක‍්‍රිස්තුස්වහන්සේ නැතිනම් අපි දෙවියන්වහන්සේගේ සතුරෝ වෙමු. ඊට හේතුව අපගේ පාපයයි. ස්තූති විය යුතු කාරණයක් නම් යේසුස්වහන්සේගේ පූජාව අප දෙවියන්වහන්සේ සමඟ සමගි කර අප අතර තිබූ සතුරුකම නැති කිරීමයි (කොලොස්සි 1:19-21). දෙවියන්වහන්සේ අප දකින්නේ ක‍්‍රිස්තුස්වහන්සේ අප ඔප්පු කරන විලාසයට එනම් “ශුද්ධවූ නොකැලැල්වූ නිදොස්වූ තැනැත්තන්” ලෙසය (22 පදය).

දෙවියන්වහන්සේ සමඟ සමාදානය, ගැටළු නැති ජීවිතයක් සහතික කරන්නේ නැත. එහෙත් අසීරු කාලවලදී එය අප ශක්තිමත් කරයි. යේසුස්වහන්සේ තම අනුගමිකයන්ට පැවසුවේ “ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ” එහෙත් “මා තුළ නුඹලාට සමාදානය තිබෙන” බවය (යොහන් 16:33). ක‍්‍රිස්තුස්වහන්සේ නිසා දෙවියන්වහන්සේගේ සැබෑ සමාදානයට අප හදවත් පිරවිය හැකිය (කොලොස්සි 3:15).