මාත් මාගේ දියණියත් සුප ශාස්ත‍්‍ර ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස චොක්ලට් ස්පන්චි සලකන්නෙමු. එක් දිනක් අප කැමතිම චොකලට් කෑම මිශ‍්‍ර කරන විට මිශ‍්‍රණ භාජනයේ තිබූ වැඩිපුර කොටස පුච්චන තැටියට වත්කළෙමි. ඉතිරිය රස විඳීමට මාගේ දියණියට අවශ්‍ය විය. මම සිනහවී කැමැත්ත දුනිමි. “ඕකට කියන්නෙ ඇහිඳිනවා කියලා. එය ආරම්භවුනේ ස්පන්චි වලින් නොවේ” මම ඇයට කීමි.

අපගේ ස්පන්චි ව්‍යාපෘතියේ ඉතිරිය රස විඳින විට රූත් තමාට සහ ඇයගේ නැන්දම්මාට ආහාර පිණිස වැටුණු වී කරල් ඇහිඳීම ගැන ඇයට විස්තර කළෙමි (රූත් 2:2-3). දෙදෙනාගේම ස්වාමීපුරුෂයන් මියගොස් සිටි බැවින් ස්ත‍්‍රීන් තම දේශයට නැවත පැමිණ සිටියෝය. රූත්ට බෝවාස් නැමැති ධනවත් ඉඩම් හිමියෙකු හමුවිය. ඇය ඔහුට කීවේ “ගොයම් කපන්නන් පස්සේ ගොයම් මිටි අතරේ කරල් ඇහිඳ එකතු කරන්ට මට අවසර ලැබේවා” කියාය (7 පදය). ඔහු කැමැත්තෙන් අනුමැතිය දී තම සේවකයන්ට උපදෙස් දුන්නේ ඇයට ඇහිඳීම පිණිස ඕනෑකමින් කරල් බිම වැටෙන්න සලස්වන්න කියාය (16 පදය).

රූත්ට තම කුඹුරුවලින් සැපයූ බෝවාස් මෙන් දෙවියන්වහන්සේ තම බහුලත්වයෙන් අපට දෙනසේක. උන්වහන්සේගේ මූලාශ‍්‍ර අපරිමිතය. අපගේ ප‍්‍රයෝජනය සඳහා ආශිර්වාද වැගිරවීමට උන්වහන්සේ සලස්වනසේක. උන්වහන්සේ කැමැත්තෙන් භෞතික සහ ආත්මික පෝෂණය අපට සපයනසේක. අපට ලැබෙන සෑම යහපත් දීමනාවක්ම දෙවියන්වහන්සේගෙන්ය.