බොස්නියානු (1992-1996) යුද්ධය කාලයේදී සිවිල් වැසියන් සහ සොල්දාදුවන් 10,000කට වඩා සර්ජේවෝ නගරයේදී මළෝය. එ් වෙඩි උණ්ඩ සහ බෝම්බ අවට කඳුවලට වැසි මෙන් වැටෙන විටය. ස්ටීවන් ගැලෝවේ ගේ සිත්කාවදින නවකථාව වන “සර්ජේවෝහි වීණා වාදකයා” නූතන යුද්ධයකදී ප‍්‍රධාන නගරයක් වැඩිම කාලයක් කොටුවී සිටි ආකාරය අනාවරණය කරයි. පොතෙහි මනඃකල්පිත චරිත තුනක් ගැන සඳහන්වේ. තමන් ගැළවීමට කරන උත්සාහයේ පමණක් සිරවී සිටිනවාද නැතිනම් කෙසේ හෝ මේ අසීරු අවස්ථාවෙන් ඉහළට අවුත් එවන් අමාරු කාලයකදී අන් අය ගැන සිතනවාද කියා තීරණයක් ගැනීමට ඔවුන්ට සිදුවේ.

රෝමයේ සිරගෙදරක සිට පාවුල් පිලිප්පියේ කිතුනුවන්ට ලියන්නේ “නුඹලා එක් එක්කෙනා තම තමාගේ කාරණා නොව අනුන්ගේ කාරණාත් බලන්න” යනුවෙනි (පිලිප්පි 2:4). අන් අය කෙරෙහි පරාර්ථකාමී අවධානයක් පිළිබඳ ශ්‍රේෂ්ඨතම උදාහරණය ලෙස පාවුල් යේසුස්වහන්සේ හුවා දක්වයි. “ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ… දෙවියන්වහන්සේගේ රූපාකාරය දරනසේක. (තමන්ගේ තත්ත්වය අත්හැර දමා)… මරණය එසේය, කුරුසියේ මරණය දක්වා කීකරුවූසේක” (5-8 පද). අන් අයගේ අනුකම්පාව නොසොයා අප පාපයේ වහල්කමින් මුදවන පිණිස යේසුස්වහන්සේ තමන් සතු සියල්ල දුන්සේක.

ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් අපට ඇති අඛණ්ඩ අභියෝගය නම් උන්වහන්සේගේ දෘෂ්ටිකෝණයෙන් බලා අපගේ අසීරු කාලවලදී පවා උන්වහන්සේගේ ශක්තියෙන් අන් අයගේ අවශ්‍යතා වලට ප‍්‍රතිචාර දැක්වීමය.