තරුණ මවක් තම තෙහැවිරිදි දැරියට දිවා ආහාරය, සකසමින් සුසුම් ලෑවාය. ඔවුන්ගේ කුඩා කුස්සියේ තිබූ හිස් පළතුරු වට්ටිය දෙස බලා ඇය ශබ්ද නගා කීවේ “අපට පිරිච්ච පළතුරු වට්ටියක් තිබුණා නම් අපි පොහොසත් කියලා මට හිතෙනවා” කියාය. ඇයගේ කුඩා දියණියට එය ඇසුණි.

සති කිහිපයක් ගෙවී ගියේය. දෙවියන්වහන්සේ කුඩා පවුල නඩත්තු කළසේක. දිනක් ඇයගේ කුඩා දියණිය කුස්සියට දිව ආවාය. “අම්මේ බලන්න! අපි පොහොසත්!” ඇය හඬ නැගුවාය. එ් මේසයෙහි තිබූ පළතුරු වට්ටිය දෙසට අත දිගුකරමිනි. එම පවුල අඹ මල්ලක් මිලදී ගැනීම හැර වෙන කිසිවක් වෙනස්වී නොතිබිණි.

ඉශ‍්‍රායෙලයේ නායක යෝෂුවා මිය යාමට ආසන්නව තිබියදී දෙවියන්වහන්සේ ඔවුන්ට කළ සියල්ල මතක් කරමින් ඔහු පණිවුඩයක් බෙදා ගත්තේය. “කාන්තාරයේ නුඹලා බොහෝ දවස් වාසය කළෙහුය” (යෝෂුවා 24:7). “නුඹලා වැඩ නොකර ලබාගත් දේශයක්ද නුඹලා ගොඩ නොනැගූ නුවරවල්ද (දෙවියන්වහන්සේ) නුඹලාට (දුන්සේක)” (13 පදය). දෙවියන්වහන්සේ ඉශ‍්‍රායෙලයට කළ සැපයීම මතක් කිරීමට යෝෂුවා විශාල ගලක් ස්මාරකයක් ලෙස තැබීය (26 පදය).

ඉශ‍්‍රායලේවරුන් මෙන් බොහෝ අභියෝග සහ හිඟකම් ඇති කාලයකට පසු එම පවුල දැන් වෙනත් ස්ථානයක ජීවත්වේ. ඔව්හු විශාල ඉඩමක ගස්වල පළතුරු භුක්ති විඳිති. ඒවා සිටුවා ඇත්තේ ඉන්පෙර අයිතිකරු විසින්ය. ඔබ එහි ගියහොත් කුස්සියේ පළතුරු වට්ටියක් ඔබට හමුවේ. එය ඔවුන්ට දෙවියන්වහන්සේගේ යහපත්කමද තුන්හැවිරිදි දැරිය ඇයගේ පවුලට ඇදහිල්ල, ප‍්‍රීතිය සහ අරමුණ ඇතුල්කළ ආකාරයද මතක් කර දෙයි.