ඇයගේ සාලය සැරසීමට ගෙනා ඵලක තුනක් මිතුරියක් දිනක් මට පෙන්වූවාය. “දැන්ම ‘ප්‍රේමය’ මට තිබෙනවා”, ඇය එම වචනය සඳහන් ඵලකයක් මට පෙන්වමින් කීවාය. “‘ඇදහිල්ල සහ බලාපොරොත්තුව’ මම ඇණවුම් කරලා තියෙන්නේ” ඇය කීවාය. “පේ‍්‍රමය” පළමුවෙන් එනවා! “ඇදහිල්ල සහ බලාපොරොත්තුව” ඉක්මනින් එනවා! මම කල්පනා කළෙමි.

ප්‍රේමය පළමුවෙන් පැමිණියේය. සත්‍යවශයෙන් එය ආරම්භවූයේ දෙවියන්වහන්සේගෙනි. පළමු යොහන් 4:19 අපට මතක් කර දෙන්නේ “අප පේ‍්‍රමකරන්නේ (දෙවියන්වහන්සේ) පළමුකොට අපට පේ‍්‍රමකළ නිසාය” කියාය. ප්‍රේමයේ පරිච්ඡේදය ලෙස හැඳින්වෙන 1 කොරින්ති 13 සත්‍ය ප්‍රේමයේ එක් ගුණාංගයක් විස්තර කරයි. “ප්‍රේමය කිසිකලෙකත් පහවන්නේ නැත” (8 පදය).

ඇදහිල්ල සහ බලාපොරොත්තුව, ඇදහිලිවන්තයාට අත්‍යවශ්‍යය. අපට “අපේ ස්වාමිවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය” (රෝම 5:1) ඇත්තේ අප ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨවී ඇති නිසා පමණි. හෙබ්‍රෙව් 6හි බලාපොරොත්තුව විස්තර කර ඇත්තේ “ඒ බලාපොරොත්තුව ආත්මයේ සත්තකවූ, ස්ථීරවූ, තිරයෙන් ඇතුළට යන්නාවූ නැංගුරමක්” ලෙසය (19 පදය).

අපට ඇදහිල්ල සහ බලාපොරොත්තුව අවශ්‍ය නොවන දිනයක් එන්නේය. එදිනට ඇදහිල්ල, පෙනීම බවට වෙනස්වේ. අපගේ ගැළවුම්කරුවාණෝ මුහුණට මුහුණ හමුවූ විට අපගේ බලාපොරොත්තුව යාථාර්ථයක්වේ. එහෙත් පේ‍්‍රමය සදාකාලිකය, ඊට හේතුව ප්‍රේමය දෙවියන්වහන්සේගෙනි, එසේම දෙවියන්වහන්සේ ප්‍රේමයයි (1 යොහන් 4:7-8). “දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයය” (1 කොරින්ති 13:13).