සියවසකට පෙර 41 වියැති ඔස්වල්ඞ් චේම්බර්ස් තරුණ ක‍්‍රිස්තියානි සංගමයේ දේවගැති ලෙස මිසරයට පැමිණියේ පළමු ලෝක යුද්ධයේ බි‍්‍රතාන්‍ය, පොදු රාජ්‍ය සොල්දාදුවන්ට සේවය කිරීමටය. කයිරෝ නගරයෙන් සැතැපුම් 6ක් උතුරින් සේටෝන් කඳවුරට ඔහු අනුයුක්ත කරන ලදී. ඔහුගේ පළමු රාත‍්‍රීයේදී එනම් 1915, ඔක්තෝම්බර් 27වන දින චේම්බර්ස් තම දින පොතේ ලීවේ “මේ ප‍්‍රදේශය තනිකර කාන්තාරයකි. මම සොල්දාදුවන් මැද සිටිමි. එය මනුෂ්‍යයන්ට මනහර අවස්ථාවකි. එය මා මීට පෙර පුරුදුව සිටි දේවලට වඩා සම්පූර්ණයෙන් වෙනස් දෙයකි. දෙවියන්වහන්සේ කරන සහ සැලසුම්කරන අලුත් දේ ගැන මම උනන්දුවෙන් බලා සිටිමි” යනුවෙනි.

හිතෝපදේශ 3:5-6හි ඇති වචන චේම්බර්ස් විශ්වාස කර ක‍්‍රියාත්මක කළේය. “නුඹේම නුවණෙහි නොපිහිටා නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරහි විශ්වාස කරන්න. නුඹේ සියලු මාර්ග වලදී උන්වහන්සේ සලකන්න. එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලා කරනවා ඇත” (හිතෝපදේශ 3:5-6).

මෙය සහනයක් මෙන්ම අභියෝගයකි. සැම දිනකම දෙවියන්වහන්සේ අපට මඟපෙන්වන බව දැන ගැනීමේ ආරක්ෂාවක් ඇත. එහෙත් දෙවියන්වහන්සේ අපගේ දිශාව මාරුකිරීම් සහ උන්වහන්සේගේ වේලාවට සංවේදී නොවන පිණිස අපි අපගේ සැලසුම් වල ඇලීගැලී නොසිටිය යුතුවේ.

“අප සිටිය යුතු ස්ථානය ගැන විනිශ්චය කිරීමට අපට අයිතියක් නැත. එසේම දෙවියන්වහන්සේ අප සකසන්නේ කුමක් පිණිසද කියා පූර්ව නිගමනයන් තබා ගැනීමද අවශ්‍ය නැත. දෙවියන්වහන්සේ සියල්ල සැලසුම් කරනසේක. උන්වහන්සේ අපව කොහේ තැබුවත් අපගේ එකම අරමුණ විය යුත්තේ අපට ඇති විශේෂිත කාර්යයට අපගේ මුළු සිතින් කැපවීමය” යනුවෙන් චේම්බර්ස් පැවසීය.