“ඔහු සිතන්නේ ඔහු ලොකු මිනිහෙක් කියලා.” අප දන්නා හවුල් කිතුනුවෙකු ගැන මාගේ මිත‍්‍රයාගේ ඇගයීම එය විය. ඔහු තුළ යම් උඩඟුකමේ ආත්මයක් ඇති බව අපි දුටිමු. ඔහු බැරෑරුම් වැරදි වල ඉක්මනින්ම පැටලිණ. අප ඒ ගැන ඉතා දුක්වීමු. ඔහුගේ හිස උදුම්මාගැනීමෙන් ඔහුට ලැබුණේ කරදර පමණි. එය අපටද වියහැකි බව අපට තේරුණි.

අපගේ සිත් වල ඇති උඩඟුකම අවතක්සේරු කර ගැනීම පහසුය. අප ඉගෙන ගන්නා තරමට, සාර්ථකත්වය ලබන තරමට, අප “ලොකු මිනිස්සු” යැයි සිතීමේ ප‍්‍රවණතාව වැඩිය. උඩඟුකම අප තුළ තිබේ.

බයිබලයේ, එස්රා විස්තර කර ඇත්තේ “මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන සමර්ථ ලියන්නෙක්” ලෙසය (එස්රා 7:6). අර්තක්ෂස්තා රජු හෙබ්‍රෙව් වහලුන් කණ්ඩායමක් යෙරුසෙලමට නැවත ගෙන යාම පිණිස ඔහු පත් කළේය. උඩඟුකමේ පාපයට වැටීමට එස්රා හොඳ සුදුස්සෙක් විය හැකිව තිබිණි. එහෙත් එසේ වූයේ නැත. එස්රා දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව දැන සිටියා පමණක් නොව එය අනුව ජීවත් විය.

යෙරුසෙලමට පැමිණි පසු දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීමට පටහැනිව යුදෙව් පිරිමින්, අන්‍ය දෙවිවරුන් අදහන කාන්තාවන් සමඟ විවාහවී ඇති බව එස්රා දැන ගත්තේය (9:1-2). ඔහු තම ඇඳුම් ඉරාගෙන දුකින් පසුතැවිලිවී යාච්ඤා කළේය (5-15 පද). එස්රාගේ දැනුම සහ තත්ත්වයට උසස් අරමුණක් තිබිණ. එනම් දෙවියන්වහන්සේ සහ තම සෙනඟ කෙරෙහි ඔහුගේ පේ‍්‍රමයයි. ඔහු යාච්ඤා කළේ: “අපි ඔබ ඉදිරියේ අපේ අපරාධ වල ගැලී සිටිමුව: මක්නිසාද මේ කාරණය නිසා ඔබ ඉදිරියේ කිසිවෙකුට සිටිය නොහැකිය” යනුවෙනි (15 පදය).

තම පාපයේ පරාසය එස්රා තේරුම් ගත්තේය. එහෙත් යටත්කමින් ඔහු පසුතැවී අපට සමාව දෙන්නාවූ දෙවියන්වහන්සේගේ යහපත මත විශ්වාසය තැබුවේය.