මා ජීවත් වන මෙම පළාතේ, ශාක පොළොව යටට වී පරිසරය සුරක්ෂිත වන තුරු පිටතට පැමිණීමට බලා සිටින්නේ මෙම වකවානුවේය. එ් ක‍්‍රමයට ශාක මරණය මඟහරියි. හිම වැටී භූමියේ අයිස් මිදීමට පෙර ශාක තම අලංකාර මල් අත්හැර දමා ඊළඟ සෘතුවේ නැවත රෝපණය වීමට අවශ්‍ය ශක්තිය ඉතිරි කරගෙන තමන්ට විශ‍්‍රාම ගත හැකි ස්ථානයකට පසුබසියි. ඒවා මැරී නැත. එහෙත් අක‍්‍රීයය. හිම දියවී, භූමිය යථාතත්ත්වයට පත්වූ විට ඒවා නැවත ස්වර්ගය දෙසට හිස ඔසවයි. අනර්ඝ වර්ණ සහ මිහිරි සුවඳින් තම මැවුම්කරුවාණන්ට ආචාර කරයි.

අක‍්‍රීයව සිටිය යුතු කාලයක් ජීවිතයටද අවශ්‍යවේ. අප මියගොස් නැත. එහෙත් අප නොපෙනී ගොස් ඇතැයි අපට සිතේ. එවැනි කාලවලදී අප වැඩකට නැතැයි කියා අපට සිතෙනවා විය හැකිය. නැවත අපව දෙවියන්වහන්සේ භාවිතා කරාවිදෝයි අපට සිතේ. එහෙත් මෙවැනි කාලපරිච්ඡේද ඇත්තේ අපගේ ආරක්ෂාවට සහ නැවත සූදානම් වීමටය. කාලය සහ පරිසරය නිවැරදි වූ විට මෙහෙයට සහ නමස්කාරයට දෙවියන්වහන්සේ නැවත අප කැඳවනු ඇත.

මෝසෙස් මෙවැනි කාලයක් අත්දුටුවේය. හෙබ්‍රෙව්වකුට පහර දුන් මිසරයෙකු මැරීමෙන් පසු දුර තිබුණාවූ මිදියන් දේශයට තමාගේ ජීවිතය බේරා ගැනීම සඳහා පැන දිවීමට ඔහුට සිදුවිය (නික්මයාම 2:11-22). එහිදී ඔහුගේ ජීවිතයේ විශාලම සේවය පිණිස දෙවියන්වහන්සේ ඔහු ආරක්ෂා කොට පුහුණු කළසේක (3:10).

එහෙයින් ධෛර්යවත්ව සිටින්න! කිසිදිනෙක අප දෙවියන්වහන්සේගේ ඇස්වලට නොපෙනී යන්නේ නැත!