සභා කණ්ඩායමක් ඔවුන්ගේ රැස්වීමේ කථා කිරීමට දේශකවරයෙකුට ආරාධනා කළේය. කණ්ඩායම් නායකයා ඔහුට “යේසුස්වහන්සේ නැතුව, දෙවියන්වහන්සේ ගැන කථා කරන්න” යැයි කීවේය.

මිනිසා පුදුම වී “ඇයි?” කියා ඇසුවේය. නායකයා උත්තර දුන්නේ “අපේ සමහර වැදගත් සාමාජිකයන්ට යේසුස්වහන්සේ අල්ලන්නේ නැහැ. එ් නිසා දෙවියන්වහන්සේ ගැන පමණක් කතා කරන්න” යනුවෙනි.

එවැනි උපදෙසක් පිළිපැදීම දේශකයාට ගැටළුවක් විය. පසුව ඔහු කීවේ “යේසුස්වහන්සේ නැතුව මට පණිවිඩයක් නැහැ” කියාය.

යේසුස්වහන්සේගේ අනුගාමිකයන්ගෙන් ඊට සමාන දෙයක් මුල් සභා කාලයේදී ඉල්ලනු ලැබීය. ප‍්‍රාදේශීය ආගමික නායකයෝ කථාකොට, යේසුස්වහන්සේ ගැන කථා නොකරන්න කියා ගෝලයන්ට අනතුරු ඇඟවූහ (කියා 4:17). එහෙත් ගෝලයෝ ඊට වඩා යමක් දැන සිටියෝය. “අප ඇසූ දුටුදේ ගැන කථා නොකර සිටින්ට අපට නුපුළුවන” ඔව්හු කීහ (20 පදය).

දෙවියන්වහන්සේ විශ්වාස කරමු, යේසුස්වහන්සේ විශ්වාස නොකරමු යැයි කීම පරස්පර විරෝධිය. යොහන් 10:30හි යේසුස්වහන්සේ තමන්වහන්සේ සහ දෙවියන්වහන්සේ අතර ඇති අසමසම සම්බන්ධතාව හොඳින් පැහැදිලි කරනසේක. “මමද පියාණන්වහන්සේද එක තැනැත්තාය” (යොහන් 10:30). “දෙවියන්වහන්සේ කෙරෙහිත් විශ්වාස කරන්න, මා කෙරෙහිත් විශ්වාස කරන්න” යැයි උන්වහන්සේට කිව හැකි වූයේ එහෙයිනි (යොහන් 14:1). යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ ස්වභාවය බවත් දෙවියන්වහන්සේට සමාන බවත් කීමට පාවුල්ට හැකිවිය (පිලිප්පි 2:6).

අප යේසුස්වහන්සේගේ නාමයෙන් සැඟවිය යුතු නැත. “වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ මනුෂයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේය” (ක‍්‍රියා 4:12).