මිතුරෙකු නගරයට එන බව අපට පැවසීය. ඔහු කාර්ය බහුල අයෙකි. ඔහුගේ කාල සටහන පිරී තිබිණි. වැදගත් රැස්වීම් වලින් දවස ගෙවුණු පසු පැය භාගයකට අප හා ප‍්‍රමාදවූ රාත‍්‍රී භෝජනයක් ගැනීම සඳහා ඔහු ආවේය. අපි ඔහුගේ පැමිණීමේ ප‍්‍රීතිය වින්දෙමු. එහෙත් මාගේ පිඟාන දෙස බලන විට හැඟුනේ “අපට ලැබුණේ ඔහුගේ කාලයේ ඉතිරි කැබලි” කියාය.

ඉන්පසු දෙවියන්වහන්සේට මාද කොපමණ වරක් මාගේ කාලයේ ඉතිරි කැබලි දී ඇත්දැයි මට මතක් විය. සමහර විට එ් නින්දට යාමට මොහොතකට පෙරය.

දානියෙල් කාර්ය බහුල පුද්ගලයෙක් විය. ඔහු පුරාණ බබිලෝනි රාජ්‍යයේ ඉහළ තනතුරක් දැරීය. ඔහුගේ දෛනික කාල සටහන පිරී තිබෙන්න ඇතැයි මම කල්පනා කරමි. කෙසේවෙතත් දෙවියන්වහන්සේ සමඟ කාලය ගත කිරීමේ පුරුද්ද ඔහු ඇතිකරගෙන තිබිණ. දවසට තුන්වරක් යාච්ඤා කර දෙවියන්වහන්සේ පසසා උන්වහන්සේට ඔහු ස්තූති කළේය. මෙම චක‍්‍රය ශක්තිමත් ඇදහිල්ලක් වර්ධනය කර ගැනීමට ඔහුට උපකාර විය. එහෙයින් පීඩාව පැමිණි විට ඔහු සැලුනේ නැත (දානියෙල් 6).

අප සමඟ සබඳතාවක් තබා ගැනීමට දෙවියන්වහන්සේ ආශා කරනසේක. උදෑසන අපගේ දවසට උන්වහන්සේට අපි ආරාධනා කරමු. ඉන්පසු දිනය පුරා උන්වහන්සේ පසසා උපකාර ඉල්ලමු. තවත් වේලාවක උන්වහන්සේ සමඟ වටිනා කාලයක් ගත කර උන්වහන්සේගේ විශ්වාසවන්තකම ගැන ආවර්ජනය කරමු. අප දෙවියන්වහන්සේ සමඟ යාච්ඤාව සහ වචනයෙන් කාලය ගත කරනවිට උන්වහන්සේ සමඟ සම්බන්ධතාවෙන් වර්ධනය වී වඩ වඩා උන්වහන්සේ මෙන් වීමට ඉගෙන ගනිමු. දෙවියන්වහන්සේට දෙන කාලය ප‍්‍රමුඛතාවක්වූ විට අප උන්වහන්සේගේ සහභාගිත්වය වඩ වඩා අගය කරමු.