අප වත්මන් නිවසට පැමිණි මුල් කාලයේ අසල වසා සිටි පාත්තයන්ගේ අලංකාරය මම රස වින්දෙමි. උන් එකිනෙකාට සැලකූ ආකාරය ද ජලයෙහි උන් පේළියට ගමන් කළ ආකාරයද ගුවනේ ඉංග‍්‍රීසි වී අකුරේ හැඩයට කණ්ඩායම ගාම්භීර ලෙස පියාසර කළ ආකාරයද මම ඉතා අගය කළෙමි. එසේම උන්ගේ පැටවුන් හදා වඩා ගන්නා ආකාරය බලා සිටීමද ඉතා මනහර විය.

ඉන්පසු ග‍්‍රීෂ්මය පැමිණියේය. තටු ඇති මාගේ මිතුරන් ගැන එතරම් අලංකාර නැති සත්‍යයන් මම ඉගෙන ගතිමි. පාත්තයෝ තණකොළ කෑමට ආශාවෙති. එහෙත් වත්ත කැතවුනාට උන්ට ගණනක් නැත. ඊටත් වඩා කෑ පසු උන් ඉතිරි කර යන දේවල් වත්ත ජරාවක් බවට පත් කරයි.

මා අසීරු පුද්ගලයන් සමඟ ක‍්‍රියා කරන විට මෙම පාත්තයන් ගැන මම සිතන්නෙමි. සමහර විට එ් පුද්ගලයන් මගේ ජීවිතයෙන් ෂූ! ෂූ! කියා ඉවත් කිරීමට පුළුවන් නම් යැයි මම සිතමි. ඉතාමත් අසීරු පුද්ගලයා තුළ පවා යම් අලංකාරයක් ඇති බව මට දෙවියන්වහන්සේ එවිට පෙන්වා දෙනසේක. ඔවුන් පිටතට දෙන වේදනාව ඔවුන් තුළ ඇති වේදනාව පෙන්නුම් කිරීමක් විය හැකිය. රෝම පොතේ පාවුල් පවසන්නේ “පුළුවන් නම් නුඹලාගෙන් විය හැකි ප‍්‍රමාණයට සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් ඉන්න” කියාය (12:18). එහෙයින් අන් අයගේ “අසීරු පැත්ත” සමඟ ක‍්‍රියා කිරීමේදී ඉවසීමට උපකාර කරන්න යැයි මම දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඉන් සැම විට සතුටුදායක ප‍්‍රතිඵලය ලැබෙන්නේ නැත. එහෙත් මේ සම්බන්ධතා දෙවියන්වහන්සේ නැවත ගොඩනගන ආකාරය ඉතා මනහරය.

අපට අසීරු පුද්ගලයන් මුණගැසෙන විට දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහයෙන් උන්වහන්සේගේ දෘෂ්ඨිකෝණයෙන් ඔවුන් දෙස බලා පේ‍්‍රම කිරීමට අපට හැකිවේ.