කොරී ටෙන් බූම්, ඇය ලිවූ චරිතාපදානයෙහි 1940 ගණන්වල තමා සහ තම සහෝදරිය වන බෙට්සි නාසි වධකාගාරවල සිටියදී විඳි කුරිරු අත්දැකීම් බෙදාගත්තාය. එක්වරක් නිරීක්‍ෂණයක් තුළදී ඔවුන්ගේ අඳුම් ගළවන්ට අණ ලැබිණ. කොරී පෝළිමේ සිටියාය. ඇයට ලැජ්ජාවද තමාව අත්හැර ඇතැයි යන හැඟීමද ඇති විය. ක්‍ෂණිකව ඇයට මතක්වූයේ යේසුස්වහන්සේ නිරුවත්ව කුරුසියේ ඇණගසා සිටි බවය. ඇය නමස්කාරයෙන් පූර්ණවී තම නැගණියට මිමිණුවේ “බෙට්සි ඔවුන් උන්වහන්සේගේ ඇඳුම්ද රැගෙන ගියා” කියාය. බෙට්සි උත්තර දුන්නේ “අනේ කොරී, මම එ් ගැන උන්වහන්සේට කිසිවිට ස්තූති කරලා නැහැ” කියාය.

කරදර, අරගල සහ දුක් පිරි ලෝකයක ජීවත්වන විට ස්තූති කිරීමක් නැතිව ජීවත් වීම පහසුය. සැම දිනකම කෙඳිරීමට හේතු විශාල ගණනක් සොයා ගැනීමට අපට පුළුවන. ගීතාවලිය 100 දේව සෙනඟට පවසන්නේ සතුටින් ප‍්‍රීතිවී, ස්තූතිවන්ත වීමටය. “උන්වහන්සේ අප මැවූසේක. අප උන්වහන්සේගේය: අප උන්වහන්සේගේ සෙනඟය. උන්වහන්සේගේ ගොදුරු බිමේ බැටළුවෝය” (3 පදය). අප කව්ද යන්න මතක් කර ගන්නා විට ස්තූති දීමෙන් ප‍්‍රතිචාර දැක්වීමට අපට පුළුවන. ඊට හේතුව ඉතාමත් කුරිරු කාලවලදී පවා ක‍්‍රිස්තුස්වහන්සේගේ පේ‍්‍රමය සහ අප වෙනුවෙන් කළ පූජාව අපට මතක් කර ගත හැකි නිසාය.

ඔබගේ ස්තූතිවන්ත හදවත, ලෝකයේ ඇති දුෂ්ටකමට යටත්වීමට ඉඩ නොදෙන්න. ඔබ දේව දරුවෙකු බව මතක තබා ගන්න. උන්වහන්සේගේ කුරුසියේ කාර්යය තුළින් තමන්වහන්සේගේ යහපත්කම සහ දයාව උන්වහන්සේ අපට පෙන්වා ඇත.