මගේ දුව ශල්‍යකර්මයකට මුහුණ දුන් පසු මම ඇයගේ ඇඳ අසල වාඩිවී සිටියෙමි. මාගේ දියණිය ඇස් අරින විට ඇයට වේදනාව දැනී ඇඬීමට පටන්ගත්තාය. මම ඇය අතගාමින් සැනසීමට උත්සාහ කළෙමි. එහෙත් ඇය තවත් වැඩියෙන් ඇඬුවාය. ඉන්පසු හෙදියක් සමඟ එක්ව ඇයව ඔඩොක්කුවට ගතිමි. ඇයගේ කඳුළු පිසදමා ඇයට සනීපවේ යැයි මම මතක් කළෙමි.

යෙසායා තුළින් දෙවියන්වහන්සේ ඉශ‍්‍රායෙල්වරුන්ට කීවේ “මනුෂ්‍යයෙකු තමාගේ මවු විසින් සනසනු ලබන්නාක්මෙන් මම නුඹලා සනසන්නෙමි” කියාය (යෙසායා 66:13). දෙවියන්වහන්සේ තම දරුවන්ට සාමයේ පොරොන්දුවක් දුන්සේක. මවක් දරුවෙක් වඩාගෙන යන්නාක් මෙන් උන්වහන්සේ ඔවුන් ගෙන යනවා ඇත. එම මෘදු වචන දෙවියන්වහන්සේට ගරුත්වයක් තිබූ සෙනඟට එනම් “ස්වාමීන්වහන්සේගේ වචනයට වෙවුලන” තැනැත්තන්ටය (5 පදය).

තම සෙනඟ සැනසීමේ හැකියාව සහ ආශාව නැවත වරක් පාවුල් කොරින්ති ඇදහිලිවන්තයින්ට ලියූ ලිපියෙහි සඳහන්ය. “සියලු පීඩාවලදී අප සනසන” තැනන්වහන්සේ, ස්වාමීන්වහන්සේ බව පාවුල් කියයි (2 කොරින්ති 1:3-4). අප කරදරයේ සිටින විට දෙවියන්වහන්සේ අප සමඟ කරුණාවෙන්ද මෘදුකමින්ද ක‍්‍රියාකරනසේක.

එක් දිනකදී සියලු වේදනා අවසන්වන්නේය. අපගේ කඳුළු සදාකාලිකව වේලී යනවා ඇත. එවිට දෙවියන්වහන්සේගේ හස්තයේ අප සදහටම සුරක්ෂිත වනු ඇත (එළිදව්ර 21:4). එතෙක් අප වේදනා විඳින විට අපට උපකාර කරන පිණිස දෙවියන්වහන්සේගේ ප්‍රේමය මත අපට යැපිය හැකිය.