උතුරු අක්ෂාංශවල සහ උස් කඳු ශිඛරවල පිහිටා ඇති නිසා නෝර්වේ රටේ සෘජුකාන් නගරය ඔක්තෝම්බර් සිට මාර්තු දක්වා හිරු එළිය දකින්නේ නැත. නගරය ආලෝකමත් කිරීමට පුරවැසියෝ කඳුවල විශාල කණ්නාඩි සවිකර හිරු එළිය නගර මධ්‍යයට පරාවර්තනය කර ගන්නෝය. නගරයට අඛණ්ඩ දීප්තිය දීමට හැකිව ඇත්තේ නැග එන සහ බැස යන හිරු සමඟ විශාල කණ්නාඩිද කැරකෙන නිසාය.

ක‍්‍රිස්තියානි ජීවිතයද එවැනි සිද්ධියක් ලෙස දැකීමට මම කැමැත්තෙමි. යේසුස්වහන්සේ තම ගෝලයන් “ලෝකයේ ආලෝකය” යැයි පැවසූසේක (මාතෙව් 5:14). ගෝලයෙකු වන යොහන් පැවසුවේ සත්‍ය ආලෝකය “අන්ධාකරයෙහි බබළන” බවය (යොහන් 1:5). එලෙස යේසුස්වහන්සේ අපට ආරාධනා කරන්නේ අප අවට ඇති අන්ධාකරයට ආලෝකය පතුරුවන ලෙසය. “නුඹලාගේ යහපත් ක‍්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරවය කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා” (මතෙව් 5:16). වෛරයට, ප්‍රේමයද කරදර වලදී ඉවසීමද ගැටුමක් ඇති විට සාමයද පෙන්වීමට එම පදය අපට දෙන කැඳවීමකි. පාවුල් අපොස්තුළුවරයා අපට මතක් කර දෙන්නේ “මක්නිසාද වරක් නුඹලා අන්ධකාරයව සිටිය නුමුත් දැන් ස්වාමීන්වහන්සේ තුළ ආලෝකයව සිටින්නහුය. ආලෝකයේ දරුවන් මෙන් හැසිරෙන්න” කියාය (එපීස 5:8).

යේසුස්වහන්සේ තවදුරටත් කීවේ “මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේය” යනුවෙනි (යොහන් 8:12). අපගේ ආලෝකය යේසුස් නැමති පුත‍්‍රයාණන්ගේ ආලෝකයේ පරාවර්තනයකි. හිරු නැතිනම්, පරාවර්තනය කිරීමට සෘජුකාන්හි ඇති විශාල කණ්නාඩි වලට නොහැකිවාක් මෙන් යේසුස්වහන්සේ නැතිනම් අප කිසිත් නැත්තෝ වන්නෙමු.