මසුන් අල්ලන මාගේ මිතුරෙකු කීවේ “නොගැඹුරු ගංගා වැඩිම ශබ්දයක් නිකුත්කරන්නේය” කියාය. “නිසල දිය ගැඹුරුය” යන පැරණි කියමනට එය අනගි අලුත් අර්ථකථනයකි. ඔහු අර්ථවත් කළේ වැඩියෙන් ශබ්ද කරන සෙනඟට කීමට ඇත්තේ ඉතා ටිකක් බවය.

එහි අනිත් පැත්ත නම් අප හරියාකාරව ඇහුම්කන් නොදෙන බවය. සයිමන් සහ ගාර්ෆන්කල් ලියූ “නිශ්චලතාවේ හඬ” යන ගීතය මට මතක්වේ. එය කථාකරන්නේ ඇහුම්කන් නොදී අසාගෙන සිටින්නන් ගැනය. ඔවුන් වචන අසති. එහෙත් ඔවුන්ගේ සිතුවිලි නිසල කර නොගන්නා බැවින් ඔවුන් සත්‍ය ලෙස ඇහුම්කන් නොදෙති. අප සියල්ලෝ නිසලවී, නිශ්චලවීමට ඉගෙන ගනී නම් හොඳය.

“නිශ්ශබ්දව සිටින්ට කාලයක් සහ කථා කරන්න කාලයක්” තිබේ (දේශනාකාරයා 3:7). හොඳ නිහඬතාව ඇහුම්කන්දීමේ නිහඬතාවකි. ඉන් හරි ඇහුම්කන්දීම, හරි අවබෝධය, සහ හරි කථාව ඇති වේ. හිතෝපදේශය “මනුෂ්‍යයෙකුගේ සිතේ තිබෙන අදහස ගැඹුරු ජලය මෙන්ය; එහෙත් ඥානය ඇති මනුෂ්‍යයා එය ඇදගන්නේය” යනුවෙන් පවසයි (හිතෝපදේශ 20:5). පතුලට යාමට නම් අසීරු ඇහුම්කන්දීම අවශ්‍යවේ.

අප අන් අයට ඇහුම්කන් දෙන විට දෙවියන්වහන්සේටද අපි ඇහුම්කන්දී උන්වහන්සේ කියන්නේ කුමක්දැයි දැනගතයුතුවේ. වෛශ්‍යාකම් කොට අල්ලාගත් ස්ත‍්‍රියක් ගෙන ආ අවස්ථාවේ යේසුස්වහන්සේ වැලි වල ලියූදේ ගැන මම කල්පනා කරමි (යොහන් 8:1-11). උන්වහන්සේ කරමින් සිටියේ කුමක්ද? මා යෝජනා කරන්නේ උන්වහන්සේ තම පියාණන්ගේ හඬට ඇහුම්කන් දෙමින් අසන්න ඇත්තේ “මේ සෙනඟට සහ මේ ස්ත‍්‍රියට අප කුමක් කියමුද?” කියා විය හැක. උන්වහන්සේගේ ප‍්‍රතිචාරය අදද ලොව පුරා දෝංකාර දෙයි.