මාගේ පුත‍්‍රයා ළදරු පාසැල් ගමන ආරම්භ කළා පමණි. පළමු දවසේම ඔහු කිවේ “මම මොන්ටිසෝරියට කැමති නැහැ” කියාය. මමත්, මගේ ස්වාමිපුරුෂයාත් ඔහු සමඟ කථා කළෙමු. “අපි එතැන නැති වුනත් අපි ඔයා ගැන යාච්ඤා කරනවා, එ් වගේම යේසුස්වහන්සේ එතැන ඉන්නවා.”

“එහෙත් මට උන්වහන්සේ පෙනෙන්නේ නැහැ” ඔහු හේතු දැක්වීය. මාගේ ස්වාමිපුරුෂයා ඔහු වැළඳගෙන ප‍්‍රකාශ කළේ “උන්වහන්සේ ඔබ තුළ ඉන්නවා, ඔබව අත්හරින්නේ නැහැ” යනුවෙනි. මාගේ පුතා පපුවට අත තියා, “ඔව්! යේසුස්වහන්සේ මා තුළ ඉන්නවා” යනුවෙන් පැවසුවේය.

වෙන්වීමෙන් සහ කණස්සලු වීමෙන් වේදනා විඳින්නේ කුඩා දරුවන් පමණක් නොවේ. ජීවිතයේ සැම සන්ධිස්ථානයේම අපි අප පේ‍්‍රම කරන අයගෙන් වෙන්වීම අත්දකිමු. සමහර විට භූගෝලීය දුරස්ථ බව හෝ මරණය නිසා එසේවේ. කෙසේවෙතත් අප දැනගත යුත්තේ දෙවියන්වහන්සේ අප අත්හැරියේය කියා අපට සිතුනද දෙවියන්වහන්සේ අප අත්හැර නැත. අප සමඟ සැමදාම සිටීමට උන්වහන්සේ පොරොන්දුවී ඇත. අප සමඟ සිටීමටද අප තුළ සැමදා සිටීමටද දෙවියන්වහන්සේ සත්‍යයේ ආත්මයාණන් අපගේ මැදහත් කරුවාණන් සහ උපකාරකරුවාණන් අප වෙත එවූසේක (යොහන් 14:15-18). අප උන්වහන්සේගේ ප්‍රේමණීය දරුවෝය.

මාගේ පුත‍්‍රයා විශ්වාසය තැබීමට ඉගෙන ගන්නේය. මාද එසේය. මාගේ පුත‍්‍රයාට මෙන්ම මටද ආත්මයාණන් දැකීමට බැරිය. එහෙත් මම දෙවියන්වහන්සේගේ වචනය කියවන විට උන්වහන්සේ මට මඟ පෙන්වනසේක. මා දිරිමත් කරනසේක. මට උන්වහන්සේගේ බලය දැනේ. දෙවියන්වහන්සේගේ මනහර සැපයීම ගැන එනම් අප සමඟද අප තුළද සිටින ක‍්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් නිසා අපි දෙවියන්වහන්සේට තුතිපුදමු. අනිවාර්යයෙන් අපි තනිවී නැත.