අපගේ දරුවන් කුඩා කාලයේදී රාත‍්‍රී ආහාරයට කඩල දුන් වේලාවක අපගේ එක දරුවෙක් “එපා” කියා කීවේය. “මොනවද එපා?” අපි ඇසුවෙමු. ඔහු “ස්තූතියි, එපා” යනුවෙන් කියනු ඇතැයි බලාපොරොත්තු වීමු. එහෙත් ඔහු “කඩල එපා” යැයි කීවේය. හොඳ සිරිත් වල වැදගත්කම ගැන සාකච්ඡාවක් එ් නිසා ඇරඹින. ඇත්තෙන්ම කිවහොත් එවැනි සාකච්ඡා බොහෝමයක් පසුව පැවැත්විණ.

පිටස්තර හොඳ සිරිත් වලට වඩා අප ස්වාමීන්වහන්සේ අපට පෙන්වන්නේ කෘතඥතාවේ හදවත් අපට තිබිය යුතු බවය. අප සහ දෙවියන්වහන්සේ අතර ඇති සබඳතාවයේදී කෘතඥතාව පළ කිරීම මූලික අවශ්‍යතාවක් බව පෙන්වන මතක් කිරීම් බොහෝමයක් බයිබලයේ ප‍්‍රකාශවේ. ගීතාවලිය 118 ආරම්භවී, අවසන් වන්නේ “ස්වාමීන්ට ස්තූතිකරව්” කියමිනි (1,29 පද). උන්වහන්සේගේ අභිමුඛයට අප පැමිණෙන විට අපි ස්තූති දියයුතුවේ (100:4). එසේම උන්වහන්සේ වෙත ගෙන එන ඉල්ලීම් ස්තූතිදීමේ ආකල්පයකින් අසුරා තැබිය යුතුවේ (පිලිප්පි 4:6). කෘතඥතාවේ එවැනි ආකල්පයක් අපට අපගේ අධික ආශිර්වාද මතක් කිරීමට පිටුවහලක්ය. කරදර සහ බලාපොරොත්තු කඩවිම් මධ්‍යයෙහි පවා දෙවියන්වහන්සේගේ අභිමුඛය සහ පේ‍්‍රමය අපගේ අඛණ්ඩ හවුල්කරුවෝ වෙති.

“ස්වාමීන්ට ස්තූතිකරව්, මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේය” (ගීතාවලිය 118:1). යනුවෙන් ගීතිකාකරු අපට මතක් කර දීම පුදුමයක් නොවේ.