සී. එස්. ලුවිස් සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන වොරන් එංගලන්තයේ වින්යාඩ් නැමති පිරිමි ළමුන්ගේ පාසැලක නේවාසිකාගාරයක දුක් විඳ තිබේ. විදුහල්පති දුෂ්ට පුද්ගලයෙක් විය. ඔහු අන් අයගේ ජීවිත දරාගැනීමට නොහැකි තත්ත්වයට පත් කළේය. දශක ගණනාවකට පසු වොරන් උපහාසාත්මකව ලීවේ “මට වයස දැන් හැට හතරකට ටිකක් වැඩියි. වින්යාඩ් වලට වඩා හොඳයි, කියා සැනසීමට පත්විය නොහැකි තත්ත්වයකට, මා කෙදිනකවත් ඉන්පසු නොවැටුනෙමි.” අපගේ ජීවිතයේ එවැනි අසීරු, අඳුරු කාලයක් අප සියලු දෙනාට මතක් කර ගත හැකිය. එවිට එදාට වඩා දැන් හොඳයැයි කියා අපට කෘතඥ විය හැක.
දාවිත්ගේ ජීවිතයේ එවැනි පහත් අඩියක් ගැන ගීතාවලිය 40:1-5හි සඳහන්වේ. ඔහු ස්වාමීන්වහන්සේට මොරගැසීය. ස්වාමීන්වහන්සේ ඔහු නිදහස් කළසේක. “උන්වහන්සේ භයානක වළකින් හැල්පතෙන්, මා ඔසවා පර්වතයක් පිට මාගේ පා තබා, මාගේ ගමන් ස්ථීර කළසේක” දාවිත් පවසන්නේ “උන්වහන්සේ අලුත් ගීතිකාවක්… අපගේ දෙවියන්වහන්සේට ස්තූති ගීතිකාවක් මාගේ මුඛයෙහි තැබූසේක” කියාය (3 පදය).

අවපාතයෙන් සහ බලාපොරොත්තු කඩවීමෙන් මිදීම එක්වරක් පමණක් සිදුවෙන කාරණයක් නොවේ. ගීතාවලිය 40 තවදුරටත් දාවිත් දෙවියන්වහන්සේගේ දයාව, ප්‍රේමය, කරුණාව සහ සත්‍යය ඉල්ලන යාච්ඤාව කරගෙනයයි. එ් ඔහුගේ පාපයෙන් සහ සතුරන්ගේ තර්ජනවලින් ගැළවීම පිණිසය (11-14 පද).

අපගේ සියලු පහත් ස්ථාන වලදී දාවිත් සමඟ අපට “මම දුප්පත්මි, දිළින්දෙමි; එහෙත් ස්වාමීන්වහන්සේ මා සිහිකරනසේක. ඔබ මාගේ උපකාරයය, මාගේ මිදුම්කාරයාණෝය” කියා කිවහැකිය (17 පදය).