බයිබල් විදුහලේ ඉගෙන ගන්නා කාලයේ මාත් මගේ මිත‍්‍ර චාර්ලිත් ලී බඩු සාප්පුවක වැඩ කළෙමු. අප සමඟ අභ්‍යන්තර සැරසිලි කරන්නෙකුද සෑම විට ගමන් කළේය. අප ලී බඩු ලොරියෙන් බාන අතර ඔහු අයිතිකරුවන්ට උපදෙස් දෙමින් සිටියේය. සමහර ගොඩනැගිලි වල තට්ටු තුන හතර ඉහළට භාණ්ඩ රැගෙන යාමට අපට සිදුවිය. චාර්ලි සහ මා කල්පනා කළේ එ් වෙනුවට සැරසිලි කරන්නාගේ රැකියාව අපට තිබුණා නම් හොඳය කියාය.

ඉශ‍්‍රායෙලයේ වසර 40ක වනාන්තර ගමනේදී ලෙවි ගෝත‍්‍රයේ, උප ගෝත‍්‍ර තුනක් කූඩාරමේ බඩු භාණ්ඩ ගෙනයාමට පත් කෙරිණ. කොහාති, මෙරාරි, සහ ගොර්ෂන් යන උපගෝත‍්‍ර වලට තිබුණේ කූඩාරම සවි කිරීම, ගැලවීම සහ ඊළඟ ස්ථානයට ගෙන යාමය. එම කාර්ය විටින් විට කිරීමට ඔවුන්ට සිදුවිය. ඔවුන්ගේ රාජකාරි විස්තරය සරල විය. ඔවුන්ට භාරවූයේ භාණ්ඩ ගෙනයාමය.

එම “භාරකරුවන්” පූජකයන්ගේ වැඩ ගැන ඊර්ෂ්‍යා කළේදැයි මම නොදනිමි. පූජකයන්ට තිබුණේ කූඩාරමේ ශුද්ධවූ භාණ්ඩ පාවිච්චි කර පූජා ඔප්පු කිරීම සහ දුම් ඇල්ලීමය (4:5,15). එම කාර්යය, නම්බුකාර සහ පහසු යැයි සමහරු සිතන්න ඇත. එහෙත් පැවරුම් දෙකම දෙවියන්වහන්සේගෙන්ය එසේම එ්වා අවශ්‍යය.

බොහෝ විට අප කරන වැඩ තෝරාගැනීමට අපට අවස්ථාව නොලැබේ. එහෙත් අප සියලු දෙනාට අප කරන වැඩ වලට අප දක්වන ආකල්පය තෝරාගත හැකිය. දෙවියන්වහන්සේ අපට දෙන කාර්යය ඉටුකරන ආකරය අප උන්වහන්සේට කරන සේවයේ මිම්ම වේ.