කාමරය විවිධ වර්ණවලින් බැබළෙන්නට පටන්ගත්තේය. ආධාර එකතුකිරීමේ උත්සවයක අලංකාර සාරි වලින් සැරසුණු ස්ත‍්‍රීහු එහෙ මෙහේ දුවමින් ශාලාව අලංකාර කළෝය. ඔවුන් මුලින් ඉන්දියාවේ සිට පැමිණි අයයි. දැන් ඔව්හු එක්සත් ජනපදයේ ජීවත් වෙති. තම මව්රට ගැන ඔවුන්ට බරක් තිබේ. ඉන්දියාවේ ඌනවර්ධිත දරුවන්ගේ කිතුනු පාසැලකට තිබූ ආර්ථික අවශ්‍යතාවක් ගැන අසා එය තම සිතට ගෙන ඔව්හු ප‍්‍රතිචාර දක්වූහ.

නෙහෙමියා එකල සිටි බලවත්ම පුද්ගලයාගේ ළඟින්ම සිටි පාත‍්‍රධාරයා විය. ඔහු තමාගේ තනතුර සහ පහසු ජීවිතය, තම රට වැසියා කෙරෙහි තිබූ අවධානය ක‍්‍රියාත්මක කිරීමට බාධාවක් කර නොගත්තේය. යෙරුසලම් නගරයේ සහ එහි පුරවැසියන්ගේ තත්ත්වය ගැන දැනගැනීමට ඔහු එහි සිට මෑතකදී පැමිණි සෙනඟ සමඟ කථා කළේය. (නෙහෙමියා 1:2). “වහල්කමෙන් ඉතුරුවී එ් රටේ සිටින්නෝ මහත් විපත්තියෙනුත් නින්දාවෙනුත් පෙළෙති, යෙරුසලමේ පවුර කඩා දමා තිබේ. එ්කේ දොරවල්ද ගින්නෙන් දවා දමා තිබේ” කියා ඔහු දැනගත්තේය (3 පදය).

නෙහෙමියාගේ සිත බිඳිණි. ඔහු දුක්විය, නිරාහාරයෙන් සිටියේය. මෙම භයානක තත්ත්වය ගැන යමක් කරන්නැයි දෙවියන්වහන්සේට යාච්ඤා කළේය (4 පදය). යෙරුසලමට ගොස් නැවත ගොඩනැගීමේ කර්තව්‍යයට නායකත්වය දීම පිණිස යෙරුසලමට පැමිණීමට දෙවියන්වහන්සේ නෙහෙමියාට ඉඩ දුන්සේක (2:1-8).

නෙහෙමියා ශ්‍රේෂ්ඨ දෙවියන්වහන්සේගෙන් ශ්‍රේෂ්ඨ දේවල් ඉල්ලා උන්වහන්සේ කෙරෙහි යැපුණු නිසා ඔහු ශ්‍රේෂ්ඨ දේවල් ඉෂ්ට කළේය. අප අවට සිටින්නන්ගේ අවශ්‍යතාවලට දෙවියන්වහන්සේ අප ඇස් විවෘත කරනසේක්වා! නිර්මාණශීලිව ප‍්‍රශ්න විසඳමින් අන් අයට උපකාර කරන ඔවුන්ට ඇලුම් කරන සෙනඟක් වීමට උන්වහන්සේ අපට උදව් කරනසේක්වා!