මාගේ නැන්දම්මා මිය ගිය පසු මමත් මගේ භාර්යාවත් ඇයගේ අල්මාරියක තිබී ඇමරිකානු සතයේ කාසි පෙට්ටියක් සොයාගතිමු. එ්වායෙහි රතු ඉන්දියානු හිසක් මුද්‍රණය කර තිබේ. ඇය විනෝදයට කාසි එකතුකරන්නියක් නොවීය. එහෙත් ඇයගේ කාලයේ මෙම කාසි භාවිතයේ තිබිණ. ඇයගේ කාමරයේ එ්වා සෑහෙන ප‍්‍රමාණයක් එකතුවී තිබිණ. සමහරක් හොඳ තත්ත්වයේ තිබිණ. සමහරක් හොඳටම ගෙවී තිබිණ. එ්වායේ ලාංඡන මැකී තිබිණි. එහෙත් සියලු කාසි වල “සතය” යන මුද්‍රාව තිබිණි. දැන් මෙම සත ගණන් නොගත්තද එ් කාලයේ පත්තරයක් ගැනීමට එහි වටිනාකම සෑහිණ. එසේම කාසි එකතුකරන්නන්හට එ්වා වටින අතර මැකී ගිය කාසි පවා ඔවුන්ට වටී.

සමහර විට ඔබත් ගෙවී ගොසින් යැයි ඔබට සිතෙනවා ඇත. නැතිනම් දැන් භාවිතයේ නැතැයි සිතෙනවා ඇත. එසේ වුවද දෙවියන්වහන්සේට ඔබ වටී. විශ්වයේ මැවුම්කරුවාණන්ට ඔබ අවශ්‍ය වන්නේ ඔබගේ මනසවත්, ශරීරයවත්, ඇඳුම්වත්, ඔබ ලබාගත් ජයග‍්‍රහණවත්, ඔබගේ දැනුමවත්, ඔබගේ පුද්ගලිකත්වයවත් නිසා නොව එ් ඔබ, ඔබම වන නිසාය! ඔබ වෙනුවෙන් ඕනෑම දුරක් යෑමට හෝ ඕනෑම මිළක් ගෙවීමට උන්වහන්සේ කැමතිය (1 කොරින්ති 6:20).

උන්වහන්සේ එසේ කළසේක. උන්වහන්සේ ස්වර්ගයේ සිට පෘථිවියට පැමිණ උන්වහන්සේගේ රුධිරයෙන් ඔබව මිළදී ගත්සේක (රෝම 5:6, 8-9). උන්වහන්සේට එතරම් ඔබව අවශ්‍යය. උන්වහන්සේගේ ඇස් හමුවෙහි ඔබ වටින්නේය. උන්වහන්සේ ඔබට ප්‍රේමකරනසේක.