පාසැලේ කෑම කාමරයේ ඇයට ඇතිවන කරදරයක් ගැන මගේ දියණිය මට විස්තර කරන විට ක්ෂණිකව මා කල්පනා කළේ එය විසඳන්නේ කෙසේද කියාය. එහෙත් මට එවිට වෙන අදහසක් පහළ විය. සමහර විට ඇයට උන්වහන්සේ ක‍්‍රියා කරන ආකාරය දැක උන්වහන්සේ වඩා හොඳින් හඳුනා ගැනීමට හැකිවන පිණිස දෙවියන්වහන්සේ එම ගැටළුවට ඉඩ හැරියා වන්නට පුළුවන. ඇයගේ ප‍්‍රශ්නය විසඳීමට දුවන්නේ නැතුව මම ඇය සමඟ යාච්ඤා කළෙමි. මගේ උදව් නැතිවම ගැටළුව විසඳිණි!

මෙම අවස්ථාව නිසා දෙවියන්වහන්සේ ඇයට සලකන බවද ඇයගේ යාච්ඤා අසන බවද උන්වහන්සේ යාච්ඤාවට උත්තර දෙන බවද මගේ කුඩා දියණිය දැනගත්තාය. කුඩා අවධියේම මෙම පාඩම් ඉගෙන ගැනීම වැදගත් බව බයිබලය පවසයි. “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණු කරන්න. එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය” (හිතෝපදේශ 22:6). යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ බලය ගැන අපගේ දරුවන් දැනුවත් කළ විට ඔවුන් ඉවත්ව ගිය හොත් ඔවුන්ට නැවත පැමිණීමට ස්ථානයක්ද ඔවුන්ගේ ජීවිතය පුරා ආත්මික වර්ධනය පිණිස පදනමක්ද අපි ඔවුන්ට දෙන්නෙමු.

දරුවෙකු තුළ ඇදහිල්ල වර්ධනය කරන්නේ කෙසේදැයි කල්පනා කරන්න. ස්වභාවධර්මයේ දෙවියන්වහන්සේගේ කාර්යයක් පෙන්වන්න. උන්වහන්සේ ඔබට උපකාර කළ ආකාරය ගැන කතාවක් කියන්න. උත්තර ලැබුණ විට කුඩා දරුවා සමඟ දෙවියන්වහන්සේට ස්තූති කරන්න. සියලු පරම්පරාවලට උන්වහන්සේගේ යහපත්කම ඔබ තුළින් ප‍්‍රකාශ කරන පිණිස ක‍්‍රියාත්මක වීමට උන්වහන්සේට පුළුවන.