අපගේ ඉරිදා රැස්වීමේ ගායකයා ගායනය ආරම්භ කළ විට සියල්ලෝ ඔහුට සම්පූර්ණ, නිෂ්චල අවධානය දුන්නෝය. ඔහුගේ ගැඹුරු හඬ ඔවුන් වෙත, ගෝර්ඩන් ජෙන්සන් විසින් ලියන ලද පැරණි ගීතයේ සිත් කාවදින වදන් ගෙනආවේය. එම ගීතයේ මාතෘකාව අප වියපත්වන විට අපට වඩාත් වටිනා වන සත්‍යයක් ගෙන ආවේය. “උන්වහන්සේගේ නම සඳහන් කිරීම තරම් උන්වහන්සේ අපට සමීපය.”

අප සියල්ලෝ අපගේ ප‍්‍රියයන්ගෙන් වෙන්වීමේ කාලයන් අත්දැක ඇත. දරුවෙකු විවාහවී දුරට යන්නේය. රැකියා හෝ සෞඛ්‍යය නිසා දෙමව්පියෝ අපගෙන් වෙන් වෙති. දරුවෙකු අධ්‍යාපනය සඳහා දුර රටකට යයි. අපට අන්තර්ජාලය සහ කෙටි පණිවුඩ ඇති බව සැබෑය. එහෙත් ඔවුන් එහේය අප මෙහේය. එසේම මරණයෙන් වෙන්වීමද තිබේ.

එහෙත් ක‍්‍රිස්තුස්වහන්සේගේ ඇදහිලිවන්තයින් ලෙස අප කිසිදා තනිවී නැත යන පොරොන්දුව අපට තිබේ. දැන් අපට තනිකම දැනුණද උන්වහන්සේ කොහේවත් ගොස් නැත. උන්වහන්සේ අප සමඟ දැනටත් සදාකාලයටත් මෙතැනම සිටිනසේක. ගෝලයින්ට උන්වහන්සේ මෙසේ කීසේක. “මමද ලෝකාන්තිමය දක්වා සැමකල්හිම නුඹලා සමඟ සිටිමි” (මතෙව් 28:20). උන්වහන්සේ තවදුරටත් අපට පොරොන්දු වූයේ “මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි. කිසි අන්දමකින්වත් නුඹ අත්නොහරිමි” කියාය (හොබ්‍රෙව් 13:5).

නිහඬ ආයාචනය, උන්වහන්සේගේ නාමය මිමිණීම, උන්වහන්සේ පිළිබඳ සිතිවිල්ල පවා අපට සහනයද විශ්වාසයද ගෙනඑයි. “උන්වහන්සේ ගේ නම සඳහන් කිරීම තරම් උන්වහන්සේ අපට සමීපය.”