නමස්කාර රැස්වීමකට වාඩි වන විට ජොඈන් තම දරුවන් පිළිබඳ යම් අසීරු කාරණා සමඟ පොරබදිමින් සිටියාය. වෙහෙසට පත්ව සිටි ඇයට මව් පදවියෙන් “අස්වීමට” අවශ්‍ය විය. එ් අවස්ථාවේදී එසේ අත්හැරීමට සිතන අයට දේශකයා දිරිමත් කිරීමේ වචන කිහිපයක් පැවසීය. එදින ඇසූ මේ සිතුවිලි 4 ඉදිරියට යෑමට ජොඈන්ට උපකාරීවිය.

“ඉහළ බලා යාච්ඤා කරන්න.” ආසාප් රාත‍්‍රිය මුළුල්ලේ යාච්ඤා කළ අතර දෙවියන්වහන්සේ ඔහුව අමතක කර දමා ප‍්‍රතික්ෂේප කර ඇතැයි පවා ඔහු ප‍්‍රකාශ කළේය (ගීතාවලිය 77:9-10). අපට දෙවියන් වහන්සේට සියල්ල කීමටත් අපගේ හැඟීම් ගැන අවංක වීමටත් හැකිය. අපට උන්වහන්සේගෙන් ඕනෑම දෙයක් ඉල්ලිය හැකිය. උන්වහන්සේගේ පිළිතුර ක්ෂණිකව හෝ අප බලාපොරොත්තු වන ලෙස නොඑ්මට පුළුවන. එහෙත් ඔබගේ ඉල්ලීම ගැන උන්වහන්සේ ඔබ හෙළාදකින්නේ නැත.

“ආපසු හැරී අතීතයේ උන්වහන්සේ ඔබ සහ අන්අය උදෙසා කළදේ බලන්න.” ආසාප් තම වේදනාව ගැන පමණක් නොව ඔහු දෙවියන්වහන්සේගේ බලය ගැනත් උන්වහන්සේ ඔහුට සහ දේව සෙනඟට කළ බලවත් ක‍්‍රියා ගැනත් කථා කළේය. ඔහු ලියුවේ “ස්වාමින්ගේ ක‍්‍රියා සඳහන් කරන්නෙමි මක්නිසාද ඔබගේ පුරාණ ආශ්චර්යයන් සිහිකරන්නෙමි” (11 පදය).

“ඉදිරිය බලන්න.” එම තත්ත්වයෙන් පැමිණිය හැකි යහපත ගැන සිතන්න. ඔබට ඉගෙන ගතහැක්කේ කුමක්ද? දෙවියන්වහන්සේට අවශ්‍ය කුමක් කිරීමටද? උන්වහන්සේගේ මාර්ග සම්පූර්ණ නිසා උන්වහන්සේ කුමක් කරනු ඇතැයි කියා ඔබ දන්නේද? (13 පදය).

“නැවත බලන්න.” මෙවර ඔබගේ තත්ත්වය දෙස ඇදහිල්ලේ නෙතින් බලන්න. උන්වහන්සේ විශාල පුදුමයන්ගේ දෙවියන්වහන්සේ බවත් උන්වහන්සේ විශ්වාස කළ හැකි බවත් මතක් කර ගන්න (14පදය).

මෙම අදහස් ඉදිරි දර්ශනයක් ලබා ගැනීමටත් යේසුස්වහන්සේ සමඟ ඇදහිල්ලේ ගමනක් යාමටත් හැකියාව දේවා!