“අම්මා කොහොමද?” කියා මම මාගේ 84වන වියේ පසුවූ මිතුරියගෙන් ඇසීමි. ඇයගේ දණහිස් සහ වැළමිටි සන්ධි පෙන්වා ඇය කීවේ, “මහලු වයස ලෙහෙසි නැහැ!” කියාය. “එහෙත් දෙවියන්වහන්සේ මට යහපත්” යයි ඇය අවංකව පැවසුවාය.

“නිවසට ළංවෙමින්” නැමති තම පොතෙහි බිලී ග‍්‍රැහැම් පවසන්නේ “වයසට යාම මාගේ ජීවිතයේ විශාලතම පුදුමය වේ. මට දැන් වයසයි, මා විශ්වාස කරන්න! එය ලෙහෙසි නැහැ! අප වයසට යන විට පැමිණෙන ගැටළු බයිබලය ඔපනොදමයි. එසේම මහලු වයස හෙළා දැකිය යුතු හෝ දත්මිටිකමින් දරාගත යුත්තක් ලෙස පෙන්වා නොදෙයි” කියාය. වයසට යන විට ඔහුට මුහුණ දෙන්ට සිදු වී ඇති සමහර ප‍්‍රශ්න ගැන ඔහු ඉන්පසු සඳහන් කරයි. “අපට පැමිණෙන බිය, අරගල සහ සීමාවන්ට මුහුණ දෙනවා පමණක් නොව එම අසීරුතා මැද අභ්‍යන්තරව ශක්තිමත් වන්නේ කෙසේද?”

යෙසායා 46හි අපට දෙවියන්වහන්සේගේ සහතිකය තිබේ. “මහලු වයස දක්වාත්… හිස පැසීම දක්වාත් මම නුඹලා උසුලන්නෙමි. මම සෑදීමි. මමම නුඹලා දරා මමම උසුලා ගළවන්නෙමි” (4 පදය).

වසර කීයක් මෙළොව අප ජීවත් වනු ඇතිද කියා හෝ වයසට යන විට කුමන දේවලට මුහුණ දීමට සිදු වේද කියා අපි නොදනිමු. එහෙත් එක් දෙයක් ස්ථිරය. අපගේ ජීවිත කාලය පුරා දෙවියන්වහන්සේ අප බලාගන්නවා ඇත.