බට්ටිච්චන්ට සහ සූටික්කන්ට අපගේ වත්තේ කෑම භාජනයක් තබා තිබේ. එහි ඇති පැණිරස ජලය බීමට කුඩා කුරුල්ලන් එන සැටි බැලීම අපට සතුට ගෙනදෙන්නේය. මෑතදී අප ගමනක් ගිය නිසා එය පුරවා යෑමට අපට නොහැකි විය. අප පැමිණෙන විට එය සම්පූර්ණයෙන් සිඳී ගොස් තිබිණි. “අසරණ කුරුල්ලෝ” මම සිතුවෙමි. “මාගේ අමතකවීම නිසා උන්ට කිසි පෝෂණයක් නොලැබිණි” එහෙත් එවිට මට මතක් වූයේ උන් පෝෂණය කරන්නේ මා නොව දෙවියන්වහන්සේ බවය.

සමහර විට ජීවිතයේ අවශ්‍යතා සියල්ල අප සිඳවා ඇති බවත් එය පුරවා ලීමට කිසිවෙක් නැති බවත් අපි කල්පනා කරන්නෙමු. එහෙත් අපගේ ආත්ම පුරවන්නේ අන් අය නොවේ. දෙවියන්වහන්සේය.

දෙවියන්වහන්සේගේ කරුණාව ගැන 36 වන ගීතිකාවේ අපි කියවමු. උන්වහන්සේ මත විශ්වාසය තබන අය බහුල ලෙස තෘප්තිමත් වන බව එය විස්තර කරයි. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ “ප‍්‍රීතිය නැමති ගංගාවෙන්” ඔවුන්ට සපයනසේක (8 පදය). ජීවිතයේ උල්පත උන්වහන්සේය.

අපගේ අවශ්‍යතා සැපයීම පිණිස අපට දිනපතා දෙවියන්වහන්සේ වෙත යාහැකිය. චාර්ල්ස් ස්පර්ජන් ලියා ඇති ආකාරයට “මාගේ ඇදහිල්ලේ උල්පත් සහ මාගේ සියලු කරුණාවල්; මාගේ ජීවිතයේ උල්පත් සහ සියලු විනෝදයන්; මාගේ ක‍්‍රියාවන්ගේ උල්පත් සහ සියලු යහපත් කාර්යයන්; මාගේ බලාපොරාත්තු වල උල්පත් සහ එ්වායේ ස්වර්ගීය බලා සිටීම්, සියල්ල ඔබ වෙත රඳා පවතී, ස්වාමීන්වහන්ස.”

අප උන්වහන්සේගේ බහුල සැපයීමෙන් පිරෙමු. උන්වහන්සේගේ උල්පත් කිසිදා නොසිඳේ.