ප‍්‍රථම වතාවට මා ඉස්තාන්බූල් හී තේජවත් කෝරා සභාවට ගිය විට සිවිලිමේ තිබූ චිත‍්‍රවලින් සමහර බයිබල් කථාවන් පහදා ගැනීමට මට තනිවම හැකි විය. නමුත් බොහෝමයක් මට මඟ හැරී ගියේය. දෙවන වර මට මඟ පෙන්වන්නෙකු විය. මට මඟ හැරුණු සියලු විස්තර ඔහු මට තේරුම් කර දුන්නේය. එවිට සියල්ලේ සම්පූර්ණ අර්ථය මට අවබෝධ විය. උදාහරණයක් ලෙස පළමු කොටසෙහි ලූක් ශුභාරංචියට අනුව යේසුස්වහන්සේගේ ජීවිතය පිළිඹිබු කෙරිණි.

සමහර විට බයිබලය කියවන විට අපට මූලික කථාව තේරුම් යයි. නමුත් සම්බන්ධතාවයන් එනම් දේව වචනය පරිපූර්ණ කථාවක් ලෙස ගොන්නාවූ විස්තර අපට වැටහෙනවාද? අපට බයිබල් අටුවා සහ අධ්‍යයන උපකරණ තිබේ. නමුත් අපට මඟ පෙන්වන්නෙකු අවශ්‍ය වේ. ඒ අපගේ ඇස් විවෘත කොට දෙවියන්වහන්සේගේ ලිඛිත එළිදරව්වේ ඇති මනහර එළිදරව් දැකීමට උපකාරකරන කෙනෙකි. අපගේ මඟ පෙන්වන්නා ශුද්ධාත්මයාණෝය. උන්වහන්සේ අපට “සියල්ල” උගන්වන සේක (යොහන් 14:26). පාවුල් ලීවේ “ආත්මයාණන් උගන්වන වචන තුළින් ආත්මික යථාර්ථයන්” (1 කොරින්ති 2:13) අවබෝධ කරන බවය.

පොතෙහි ඇති විශ්මයන් ඉගැන්වීම පිණිස එය ලියා ඇති කර්තෘ අප සමඟ සිටීම කෙතරම් මනහරද! දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ ලිඛිත වචනය සහ එළිදරව්ව අපට දී තිබෙනවා පමණක් නොව එයින් ඉගෙනීමටද අවබෝධය ලබා ගැනීමටද අපට උපකාර කරන සේක. එහෙයින් ගීතිකාකරු සමඟ අපි යාච්ඤා කරමු. “ඔබගේ ව්‍යවස්ථාවෙන් ආශ්චර්යමත් දේ දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව” (ගීතාවලිය 119:18)