වරස ගණනාවකට පෙර මම රටවල් දෙකක දෙදෙනෙකු විවාහ වූ මංගල්‍ය උත්සවයකට සහභාගි වීමි. සංස්කෘතික දෙකක එවැනි සංකලණයක් අලංකාර විය හැකිය. නමුත් මෙම උත්සවයට කිතුණු චාරිත‍්‍ර සහ බොහෝ දෙවිවරුන් ඇදහූ ධර්මයක සිරිත් විරිත්ද මිශ‍්‍ර විය.

අනාගතවක්තෘ ශෙපනියා සත්‍ය දෙවියන්වහන්සේ සමඟ අන් ඇදහිලි මිශ‍්‍ර කිරීම හෙලා දැක්කේය. යුදා, සත්‍ය දෙවියන්වහන්සේට නමස්කාර කළද මොලෙක්ටද (ශෙපනියා 1:15) නමස්කාර කරන සෙනගක් බවට පත්වී තිබුණි. ශෙපනියා ඔවුන් මිථ්‍යාදෘෂ්ටික සංස්කෘතිය ඇතුළත් කර ගෙන ඇති ආකාරය විස්තර කරයි (8 පදය). ඔහු අනතුරු ඇඟෙව්වේ එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ දේශයෙන් දෙවියන්වහන්සේ ඔවුන්ව එළවා දමනු ඇති බවය.

එහෙත් දෙවියන්වහන්සේ තම සෙනඟට පේ‍්‍රම කිරීම නොනැවැත්වූ සේක. උන්වහන්සේගේ විනිශ්චයේ අරමුණ වූයේ ඔවුන් උන්වහන්සේ වෙත හැරීමේ අවශ්‍යතාවය පෙන්වීමය. ඒහෙයින් ශෙපනියා යූදා දිරිමත් කළේ “ධර්මිෂ්ඨකමද යටත්කමද” (2:3) සෙවීමටය. එවිට ස්වාමීන්වහන්සේ අනාගතයේදී ප‍්‍රතිෂ්ඨාපනය ඔවුන්ට පොරොන්දු වූ සේක. ඔවුන්ට මෘදු වචනයෙන් කථා කළ සේක. “මා විසින් නුඹලා රැස්කරන ඒ කාලයෙහිම නුඹලා ඇතුළට ගෙනෙන්නෙමි” (3:20).

මා සහභාගී වූ විවාහ උත්සවය වැනි කැපී පෙනෙන මිශ‍්‍රණයන් හෙළා දැකීම අපට පහසුය. නමුත් යථාර්ථයක් ලෙස අප සියල්ලෝ අපගේ සංස්කෘතියේ අනුමත කාරණා සමඟ පහසුවෙන් දේව වචනය කළවම් කර ගන්නෙමු. දෙවියන්වහන්සේගේ වචනයෙහි සත්‍යතාවය සමඟ අපගේ විශ්වාසයන් පරික්‍ෂා කර බැලීමට ශුද්ධාත්ම මඟ පෙන්වීම අපට අවශ්‍ය වේ. ඉන්පසු පේ‍්‍රමයෙන්ද ස්ථිරතාවයෙන්ද එම වචනය වෙනුවෙන් නැගී සිටිය යුතුය. සත්‍යයෙන් සහ ආත්මයෙන් උන්වහන්සේ නමස්කාර කරන ඕනෑම කෙනෙකු අප පියාණෝ උණුසුම්ව පිළිගන්නා සේක (යොහන් 4:23-24).