සුපිරි වෙළඳ සැළක සිට පියවරුන්ගේ දිනයට සුදුසු කාඩ් පතක් සොයා ගැනීමට බොහෝ උත්සහ කළෙමි. කඩතොළුවූ සම්බන්ධතාවයකින් පසුව දැන් අප සම්බන්ධව සිටියද මාගේ පියාට මා සමීප වූයේ යයි මට කිසිදාක සිතී නැත.

“තමන්ගේ තාත්තලා සමඟ හරි සම්බන්ධතාවයක් නැති වුනත් හරි දේ කරන්න උත්සාහ කරන අයට කාඩ් හදන්නේ නැත්තේ ඇයි” කියා මා අසළ සිටි කාන්තාව මිමිණුවාය. ඇය අතෙහි තිබූ කාඩ් පත නැවත රාක්කයේ තැබුවාය.

මා ප‍්‍රතිචාර දැක්වීමට පෙර ඇය ඉක්මණින් පිටවී ගියාය. මම ඇය වෙනුවෙන් යාච්ඤා කළෙමි. තමන්වහන්සේ පමණක් සම්පූර්ණ පියාණන් බව ස්ථිර කළ හෙයින් මම උන්වහන්සේට ස්තුති කළෙමි. මගේ පියා සමඟ ඇති සම්බන්ධතාවය ශක්තිමත් කරන්න යයි උන්වහන්සේට කීවෙමි.

මාගේ ස්වර්ගීය පියාණන් සමඟ ගැඹුරු සමීපතාවයකට මම ආශා වෙමි. දෙවියන්වහන්සේගේ අඛණ්ඩ අභිමුඛය බලය සහ රැකවරණය ගැන දාවිත්ට ඇති ස්ථිරතාවය මට අවශ්‍ය වේ (ගීතාවලිය 27:10).

උපකාර ඉල්ලා දාවිත් මොර ගැසූ විට ඔහු දෙවියන්වහන්සේගේ උපකාර බලාපොරොත්තු විය (7-9 පද). භෞමික දෙමව්පියන්ට තමන්ගේ දරුවන් ප‍්‍රතික්‍ෂේප කිරීමට, අත්හැරීමට හෝ නොසළකා හැරීමට හැකි වුවද දාවිත් ප‍්‍රකාශ කරන්නේ දෙවියන්වහන්සේගේ කොන්දේසි විරහිත පේ‍්‍රමය ගැනය (10 පදය). ස්වාමීන්වහන්සේගේ යහපත්කම පිළිබඳ ස්ථිරතාවයෙන් ඔහු ජීවත් විය (11-13 පද). අපගෙන් බොහෝ අය මෙන් දාවිත් අරගල කළේය. නමුත් ශුද්ධාත්මයාණෝ විශ්වාසයෙන් සහ ස්වාමීන් තුළ යැපීමෙන් අත් නොහැර ඉදිරියට යාමට ඔහුට උපකාර කළ සේක (14 පදය).

සදාකාලයට යාමට පෙර අපට බොහෝ අසීරුතා ඇති වනු ඇත. නමුත් සෙනග අපව ප‍්‍රතික්‍ෂේප කළද, අපව අත්හැරියද අපට හානි කළද එකම පරිපූර්ණ දෙවියන්වහන්සේ අපට පේ‍්‍රම කර ආරක්‍ෂා කරන සේක.