සංස්කාරක රැකියාවක් අවසන් වූ පසු අලුත් එකක් සෙවීමට උදව් කරන්න යයි මම දෙවියන්වහන්සේට යාච්ඤා කළෙමි. නමුත් සති කිහිපයක් නිමාවූ පසුත් කිසිදෙයක් නොලැබුණි. බොහෝ ඉල්ලුම්පත් පිරෙව්වද අන්තර් ජාලයෙන් රැකියා සෙව්වද ඵලක් නොවීය. මම සසල වී “ස්වාමිනී රැකියාවක වැදගත්කම ඔබට තේරෙන්නේ නැද්ද?” කියා දෙවියන්වහන්සේගෙන් ඇසීමි. පිළිතුරු නොලැබුණාක් මෙන් පෙණුනු යාච්ඤාව නිසා මම දෑත් බැඳගෙන සිටියෙමි.

මාගේ රැකියා තත්ත්වය ගැන මාගේ පියාට කථා කළෙමි. ඔහු දෙවියන්වහන්සේගේ පොරොන්දු ගැන මට බොහෝ විට මතක් කර දෙන අයෙකි. “දෙවියන්වහන්සේ කියන දෙය ඔබ පිළිගන්න ඕනෑ” ඔහු කීවේය.

මාගේ පියාගේ අවවාදය මට හිතෝපදේශ 3 වන පරිච්ඡේදය මතක් කරයි. එහි ණැනවත් පියෙකු පේ‍්‍රමණීය පුත‍්‍රයාට දෙන උපදේශයක් ඇතුළත් වේ. මෙම ජනප‍්‍රිය ඡේදය මගේ තත්ත්වයට විශේෂයෙන් අදාළ විය. “නුඹේම නුවණෙහි නොපිහිටා නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සළකන්න. එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලා කරනවා ඇත” (හිතෝපදේශ 3:5-6). එහි අර්ථය දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ඉලක්ක කරා අප වර්ධනය කරන බවය. උන්වහන්සේගේ පරම අරමුණ නම් මම වඩ වඩා උන්වහන්සේ වාගේ වීමය.

ඉන් අදහස් වන්නේ උන්වහන්සේ තෝරා දෙන මාර්ග පහසු වන බව නොවේ. නමුත් උන්වහන්සේගේ මඟ පෙන්වීම සහ වේලාව විශ්වාස කිරීම මට තෝරා ගත හැකිය. ඒවා මගේ යහපතට බව මා විශ්වාස කළ යුතුය.

දෙවියන්වහන්සේගෙන් පිළිතුරක් එනතුරු ඔබ ඉන්නවාද? උන්වහන්සේ වෙතට සමීප වීමටද උන්වහන්සේ ඔබට මඟ පෙන්වන බවටද විශ්වාස කරන්න.