දුරකථනය දෙස නෙත් හෙලා ගෙන පාරේ ගමන් කරන කෙනෙකු දුටු විට ඉක්මණින් ඒ තැනැත්තාව විනිශ්චය කිරීමට මම පුරුදුව සිටියෙමි. “ඔවුන් හැප්පෙන්න යන රථ ගැන ඔවුන්ට පෙනෙන්නේ නැත්තේ ඇයි? ඔවුන්ගේ ආරක්‍ෂාව ගැන ඔවුන් ගණන් නොගන්නේ ඇයි?” යයි මම මටම කියා ගත්තෙමි. නමුත් එක් දිනක් පටු පාරක් හරහා යන විට විද්‍යුත් පණිවුඩයක් යැවීමට අවධානය යොමු කර ගෙන මම පාර හරහා ගියෙමි. මාගේ වම් පැත්තෙන් පැමිණි වාහනය මම නුදුටුවෙමි. රියදුරු මා දැක තිරිංග තද කලේය. මට ලැජ්ජා සිතුණි. මා අනිත් අයට දිගුකරන ස්ව ධර්මිෂ්ඨකමේ ඇඟිල්ල මා වෙතටම දිගු කෙරුණි. මම අන් අය විනිශ්චය කළෙමි. නමුත් මමත් දැන් එයම කළෙමි.

කන්ද උඩ දේශනාවේදී යේසුස්වහන්සේ කථා කළේ මා කළා වැනි වංක කමක් ගැනය. “පළමු කොට නුඹේ ඇසෙන් දැවය පහකරන්න. එවිට නුඹේ සහෝදරයාගේ ඇසෙන් රොඞ්ඩ පහකරන්නට නුඹට හොඳ හැටි පෙනෙන්නේය” (මතෙව් 7:5). මාගේ ඇසෙහි විශාල දැවයක් තිබුණි. අනිත් අය විනිශ්චය කළ මට නොපෙණුන කඩතොළු වූ විනිශ්චයක් මා තුළ විය.

“නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චය කරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චය කරනු ලබන්නහුය” (7:2) යනුවෙන් යේසුස්වහන්සේ කී සේක. එදින රියදුරුගේ මුහුණේ තිබූ කලකිරීම මට මතක් කරන්නේ දුරකථන වලට එබී සිටි අය වෙත මා දැක්වූ බැල්මය.

අප කිසි කෙනෙකු සම්පූර්ණ නැත. නුමුත් අන් අයව විනිශ්චය කිරීමට ඉක්මන් වන විට මට එය අමතක වේ. අප සියල්ලන්ටම දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහය අවශ්‍ය වේ.