මට ඇඩා හමුවන විට ඇයගේ මිතුරියන් සහ පවුලේ සියලු දෙනාට වඩා ඇය ජීවත්වී තිබුණි. එකල ඇය සිටියේ සාත්තු නිවසකය. “වයසට යන එකේ අමාරු කොටස එයයි” ඇය කීවාය. “සෑම කෙනාම යනවා. මම තනි වෙනවා”. ඇයගේ උනන්දුව තබා ගන්නා ආකාරයත් ඇය කාලය ගත කරන ආකාරයත් ගැන මම ඇයගෙන් ඇසීමි. ඇය අපෝස්තුළු පාවුල් ලියූ බයිබල් ඡේදයකින් මට පිළිතුරු දුන්නාය (පිලිප්පි 1:21). “මක්නිසාද මාගේ ජීවත්වීම නම් ක‍්‍රිස්තුස්වහන්සේ උදෙසාය. මරණයද මට ලාභයක්ය”. ඇය ඉන්පසු කීවේ “මා ඉන්න තාක් මට කරන්න වැඩ තියෙනවා. ඇඟට හොඳ දවස්වලදී මේ ස්ථානයේ අයට යේසුස්වහන්සේ ගැන කියනවා. ඇඟට අමාරු දවස් වලදීත් මට යාච්ඤා කරන්න පුළුවන්”.

පිලිප්පි පොත සිරගෙදර සිටින විට පාවුල් විසින් ලියනු ලැබීම වැදගත් කාරණයයි. මරණය ළංවන විට බොහෝ කිතුණුවන්ට තේරුම් යන යථාර්තයක් පාවුල් පිළිගනී. ස්වර්ගය කෙතරම් අනර්ඝ ලෙස පෙනුණද අප මේ ලෝකයේ ජීවත්වන කාලය දෙවියන්වහන්සේට වටින්නේය.

පාවුල් මෙන් ඇඩාද තේරුම් ගත්තේ ඇය ගන්න සෑම හුස්ම පොදක්ම දෙවියන්වහන්සේට සේවය කිරීමටත් මහිමය දීමටත් අවස්ථාවක් බවය. ඒහෙයින් ඇඩා තම දවස් ගත කලේ අන් අයට පේ‍්‍රම කරමින් සහ තම ගැළවුම්කරුවාණන් ඔවුන්ට හඳුන්වා දෙමිනි.

අඳුරුතම අවස්ථාවලදී පවා දෙවියන්වහන්සේගේ සමීපයේ ඇති සදාකාලික ප‍්‍රීතිය පිළිබඳ පොරොන්දුව අල්ලා ගෙන සිටීමට කිතුණුවන්ට පුළුවන. අප ජීවත්වන තුරා උන්වහන්සේ සමඟ සම්බන්ධතාව අපි භුක්ති විඳිමු. උන්වහන්සේ අපගේ සෑම මොහොතක්ම වැදගත්කමකින් පුරවන සේක.