ටොබෑගෝ දුපත අසළ කැරිබියන් මුහුදෙහි දිය යට බැලීමට විශේෂ උපකරණ පැළඳීම අවශ්‍ය බවට අපගේ දරුවන්ට තදින් ඇවිටිලි කිරීමට සිදුවිය. නමුත් ඔවුන් කිමිදී මහත් ප්‍රිතියකින් යුතුව පිටතට පැමිණියේ “වෛවාරණ මාළු දහස් ගණන් සිටිනවා. එය ඉතා අලංකාරයි. අපි කවදාවත් ඒ වගේ මාළු දැකල නැහැ” යයි කියමිනි.

එම මුහුදේ වතුර මතුපිට අප නිවස අවට වැව්වල වතුර මෙන් පෙණුන නිසා යට ඇති අලංකාරය අපගේ දරුවන්ට මග හැරෙන්න තිබුණි.

ඊළඟ රජු ආලේප කිරීම සඳහා සාමුවෙල් අනාගතවක්තෘ යෙස්සේගේ දරුවෙකු සොයා බෙත්ලෙහෙමෙට ගිය විට පළමු පුත්‍රයා වන එලියාබ්ගේ පෙනීම දැක ඔහු පැහැදුණේය. තමාට නිවැරදි පුද්ගලයා හමුවී යයි සාමුවෙල් සිතීය. නමුත් දෙවියන්වහන්සේ එළියාබ්ව ප්‍රතික්ෂේප කළේය. දෙවියන්වහන්සේ සාමුවෙල්ට මතක් කළේ උන්වහන්සේ මනුෂ්‍යයා බලන ආකාරයට නොබලන බවය. “මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනුම බලන්නේය. නුමුත් ස්වාමින්වහන්සේ සිත බලන සේක” (1 සාමුවෙල් 16:7).

ඒහෙයින් තව පුත‍්‍රයන් ඉන්නවා දැයි සාමුවෙල් ඇසීය. කුඩාම පිරිමි ලමයා සිටියේ නැත. ඔහු බැටළුවන් බලමින් සිටියේය. දාවිත්ට එන්නට ආරාධනා කෙරුණි. ඔහුව ආලේප කරන්න යයි දෙවියන්වහන්සේ සාමුවෙල්ට මග පෙන්වීම දුන් සේක.

බොහෝ විට අප සෙනග දෙස ඔවුන්ගේ පිටස්තරයෙන් බලමු. ඔවුන්ගේ අභ්‍යන්තරය සමහරවිට සැඟවුනු අලංකාරය දෙස බැලීමට අපි කාලය නොගන්නෙමු. දෙවියන්වහන්සේට වටිනා දෙය අප අගය නොකරමු. නමුත් මතුපිටින් එහාට අපි ඇස් යොමන්නේ නම් අපට විශාල වස්තූන් සොයා ගත හැකිය.