මාගේ හවුල් සේවක ටොම් අඟල් 8 x 12 වීදුරු කුරුසියක් තම මේසය මත තබා ගෙන සිටී. ඔහුගේ මිත්‍ර ෆිල්, ටොම් මෙන්ම පිළිකාව සෑදී සුව වූ අයෙකි. ඔහු එම කුරුසිය ටොම්ට දුන්නේ සැම දෙයක්ම කුරුසිය තුළින් බැලීමටය. එම වීදුරු කුරුසිය දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ ඔහුගේ ජීවිතය සඳහා උන්වහන්සේ තබා ඇති පරමාර්ථය සෑමවිටම ඔහුට මතක් කරන්නේය.

එය යේසුස්වහන්සේ තුළ සියලු ඇදහිලිවතුන්ට අඛණ්ඩ අභියෝගයකි. විශේෂිතව ඒ අසීරු කාලවලදීය. දෙවියන්වහන්සේගේ ප්‍රේමය වෙත අවධානය යොමු කරනවාට වඩා අපගේ ප්‍රශ්න වෙත අවධානය යොමු කිරීම අපට පහසුය.

අපෝස්තුළුවූ පාවුල්ගේ ජීවිතය කුරුසියේ හැඩය ඇති ජීවිතයක ආදර්ශයකි. ඔහු පීඩා කාලයේදී තමා ගැන විස්තර කළේ “ලුහු බඳිනු ලබමුව. එහෙත් අත් හරිනු නොලබමුව. හෙළා දමනු ලබමුව. එහෙත් විනාශ නොවී සිටිමුව” (2 කොරින්ති 4:9) යනුවෙන්ය. ඔහු විශ්වාස කළේ අසීරු කාලවලදී දෙවියන්වහන්සේ “පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නාවූ අපට ඉතාමත්ව වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදා දෙන්නේය” (17-18 පද) කියාය.

“අපගේ ඇස් නොපෙනන දේ බලා” සිටීම යනු ප්‍රශ්න අවම කිරීම නොවේ. පෝල් පාර්නට් තම අටුවාවේ මෙම ඡේදය ගැන කියන්නේ “අප ගැන ඇත්තාවූ දෙවියන්වහන්සේගේ පරමාර්ථ ගැන ස්ථිරතාවයක් තිබිය යුතු වේ. අනිත් අතින් බලාපොරොත්තුව සහ වේදනාව මුසුවූ අවබෝධයකින් අපි කෙඳිරි ගාමුව” යනුවෙනි.

යේසුස්වහන්සේ අප වෙනුවෙන් ජීවිතය දුන් සේක. උන්වහන්සේගේ ප්‍රේමය ගැඹුරුය. එය පූජාවකි. අපි කුරුසිය තුළින් ජීවිතය දෙස බලන විට අපි උන්වහන්සේගේ ප්‍රේමය සහ විශ්වාසවන්තකම දකිමු. එසේම උන්වහන්සේ මත අප තබා ඇති ඇදහිල්ලද ඉන් වර්ධනය වේ.