පාසැලට යාමට දොරෙන් පිටවී දිව යාමට පෙර දත් මැද්දේදැයි මම මාගේ පුත්‍රයාගෙන් ඇසීමි. නැවතත් ඔහුගෙන් ඇසීමෙන් සත්‍යය කීමේ වැදගත්කම ගැන මම ඔහුට සිහිපත් කළෙමි. මාගේ අවවාදයෙන් නොසැලී ඔහු කීවේ නාන කාමරයේ සීසීටීවී කැමරාවක් සවි කරන ලෙසය. එවිට මටම එය බලා ගත හැකි බවත් බොරු කීමට ඔහුට පරීක්ෂාවක් නොපැමිණෙන බවත් ඔහු විහිළුවෙන් පැවසීය.

ආරක්ෂිත කැමරා තිබීම නීති රැකීමට අපට උපකාර වන නුමුත් නොපෙනී යාමට හැකි ස්ථාන සහ මාර්ග තවම ඇත. ආරක්ෂිත කැමරාවට සැඟවී අප ගියද දෙවියන්වහන්සේගේ දෑසට නොපෙනී සිටිය හැකි යයි අපි සිතන්නේ නම් අපි අපවම රවටා ගනිමු. “මට නොපෙනෙන ලෙස යමෙකුට රහස් තැන්වල සැඟවෙන්ට පුළුවන්දැයි ස්වාමීන්වහන්සේ අසන සේක” (යෙරෙමියා 23:24). මෙහි අපට ධෛර්යයක්ද අනතුරු ඇඟවීමක්ද තිබේ.

අනතුරු ඇඟවීම නම් අපට දෙවියන්වහන්සේගෙන් සැඟවීමට නොහැකි බවයි. උන්වහන්සේව නොපෙනෙන සේ දිවීමට හෝ උන්වහන්සේ මෝඩ කිරීමට අපට බැරිය. අප කරන සෑම දෙයක්ම උන්වහන්සේ දකින සේක.

දිරිමත් කිරීම නම් අපගේ ස්වර්ගීය පියාණන්ගේ විනිවිද යන රැකවරණයට අසුනොවන තැනක් ස්වර්ගයේ හෝ පොළොවේ හෝ නැතිවීමය. අප තනිවී යයි හැඟෙන විටද දෙවියන්වහන්සේ අප සමගය. අද අප කොහේ ගියද එම සත්‍යය දැන සිටීම උන්වහන්සේට කීකරුවීමටද සහනය ලැබීමටද හේතුවක් වේවා – උන්වහන්සේ අප දෙස බලා සිටින සේක.