යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත හැරුණු අයෙකු වන නබීල් කුරේෂි පොත් ලියා තිබේ. ඒ ඔහු හැර ආ ආගමේ අයට සත්‍යය අවබෝධ වන පිණිසය. ඔහුගේ ස්වරය ගෞරවාන්විතය. තම සෙනගට ඔහු ප්‍රේමයේ හදවතක් පෙන්නුම් කරන්නේය.

කුරේෂි එක් පොතක් තම සහෝදරියට කැප කළේය. ඇය එවිටත් යේසුස්වහන්සේට ජීවිතය දී තිබුණේ නැත. කැපවීම කෙටිය. නමුත් බලවත්ය. “අප දෙදෙනාට එකට එක් වී උන්වහන්සේ නමස්කාර කිරීමට දවසක් දෙන්නැයි මම දෙවියන්වහන්සේට ආයාචනා කරමි” යි ඔහු ලීවේය.

රෝම සභාවට පාවුල් ලියන ලිපියෙහි අපට එවැනි හැඟීමක් ලැබේ. “මාගේ හදවත නොනවතින දුකෙන්ද දැඩි වේදනාවෙන්ද පිරී ඇත. ඒ මාගේ යුදෙව් සහෝදර සහෝදරියන් වෙනුවෙනි. ඔවුන්ව ගළවන්නට හැකි නම් මම ක‍්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්ව සදා ශාපලද්දෙක් වන්නට කැමැත්තෙමි” (රෝම 9:2-3).

පාවුල් යුදෙව් සෙනඟට කෙතරම් ප්‍රේම කළාද කිවහොත් ඔවුන් ක‍්‍රිස්තුස්වහන්සේ පිළිගන්නවා නම් ඔහු දෙවියන්වහන්සේගෙන් වෙන් වීමට වුවද කැමති විය. යේසුස්වහන්සේ එපා කිරීමෙන් ඔහුගේ සෙනඟ එකම සත්‍ය දෙවියන්වහන්සේ ප්‍රතික්ෂේප කරන බව ඔහු දැන සිටියේය. ඒහෙයින් සැම කෙනා සමගම යේසුස්වහන්සේ බෙදාගන්න යැයි තම පාඨකයන්ට ආයාචනා කිරීමට ඔහු පෙළඹවීමක් ලද්දේය (10:14-15).

අද අපට සමීප අය ගැන අප තුළ කකියන ප්‍රේමය වෙනුවෙන් යාච්ඤාවෙන් කැපවෙමු.