බහමාස් රටෙහි නාසාහු නගරයෙහි ක්ලින්ටන් ජාතික උද්‍යානයට නැවත යාම ඉතිහාසයේ ඛේදජනක කාල පරිච්ඡේදයකට නැවත යාමකි. පොළොව සහ ජලය එක්වන තැන කඳු ගැටයකට යන ගල් පඩි පෙළක් තිබේ. 18 වන සියවසේ නැව් වලින් බහමාස් වෙත ගෙන ආ වහලුන් මෙම පඩි පෙළ නගින්න ඇත. ඒ බොහෝ විට තම පවුල් අත්හැර අමානුෂික වදහිංසාවලට ලක් වීමටය. එහි මුදුනෙහි එම වහලුන් වෙනුවෙන් ස්මාරකයක් සාදා ඇත. කේදාර් කඳන් ස්ත‍්‍රීන් ලෙස කැටයම් කර ඇත. ඔව්හු මුහුද දෙසට නෙත් යොමා ඔවුන්ට නැතිව ගිය පවුලේ අයවලුන් දෙස බලා සිටිති. සෑම කැටයමකම වහල් කපිතාන්ගේ කසයෙන් තුවාල වූ කැළැල් දක්නට තිබේ.

නැතිවූ දේවල් ගැන වැලපෙන මෙම ස්ත‍්‍රී කැටයම් මට මතක් කරන්නේ ලෝකයේ තිබෙන අසාධාරණයන් සහ ලෝකයේ ඇති කැඩී බිඳුණු ක‍්‍රියා ජාලයන් හඳුනාගැනීමේ ඇති වැදගත්කමයි. ඒවා ගැන අප වැලපිය යුතු වේ. විලාප කීම අර්ථවත් කරන්නේ අපට බලාපොරොත්තුවක් නැතැයි යන්න නොවේ. එය දෙවියන්වහන්සේ හමුවේ අවංක වීමකි. එය කිතුණුවන්ට හුරුපුරුදු දෙයකි. ගීතාවලියේ ගීතයන්ගෙන් සියයට 40 ක් පමණ විලාපයන්ය. විලාප ගී පොතෙහි ආක‍්‍රමණිකයින් විනාශ කළ නගරය දෙස බලා සෙනග වැලපෙති (3:55).

වේදනාව නැමැති යථාර්ථයට දිය හැකි නිත්‍යානුකූල ප්‍රතිචාරයක් නම් විලාපයයි. එසේම එය වේදනාව සහ කරදර මධ්‍යයෙහි දෙවියන්වහන්සේව පෙන්නුම් කරයි. වැරදි දෙය ගැන අපි වැලපෙන විට අප අපටත් අන් අයටත් ආරාධනා කරන්නේ වෙනසක් සෙවීමටය.

නාසාහුහී ඇති උද්‍යානය “ජෙනසිස් (උත්පත්ති)” ලෙස නම් කර ඇත්තේ ඒහෙයිනි. විලාපයේ ස්ථානය, අලුත් දේවල ආරම්භයේ ස්ථානයක් ලෙස හඳුන්වනු ලැබේ.