සමහර විට අපේ ජීවිත කාර්ය බහුල වන්නේය. පංති අසීරුය. වැඩ වෙහෙස ගෙන දෙන්නේය. නාන කාමරය පවිත‍්‍ර කළ යුතුය. කෝපි සාදයක් අත ළඟය. දිනකට බයිබලය විනාඩි කිහිපයක් කියවා අනික් සතියේ දෙවියන්වහන්සේ සමග වැඩි කාලයක් ගත කරමියි කියන තැනට මම වැටෙමි. නමුත් මගේ අවධානය වෙනතකට යාමට වැඩි කාලයක් ගත නොවේ. මම දෛනික කාරණාවල ගිලෙන්නෙමි. දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලීමට මට අමතක වේ.

පේතෘස් ජලය මතින් යේසුස්වහන්සේ වෙත පැමිණෙන විට සුලඟ සහ රැළි වලින් ඔහුගේ අවධානය ඉක්මණින්ම බිඳී ගියේය. මා මෙන්ම ඔහුත් ගිලෙන්න පටන් ගත්තේය (මතෙව් 14:29-30). නමුත් පේතෘස් මොර ගැසූ ක්ෂණයකින් “යේසුස්වහන්සේ අත දිගු කොට ඔහු අල්ලා ගත් සේක” (30-31 පද).

මට බොහෝ විට සිතෙන්නේ මම එතරම් කාර්ය බහුල වී උන්වහන්සේව නොදැක සිටි විට මා එය පිරිමැසීම පිණිස යමක් කළ යුතුය කියාය. නමුත් දෙවියන්වහන්සේ ක්‍රියා කරන්නේ එසේ නොවේ. අප උපකාර ඉල්ලා උන්වහන්සේ වෙත හැරුනු විට යේසුස්වහන්සේ නොපැකිළ අපට උදව් කිරීමට ළංවන සේක.

අප ජීවිතයේ වියවුල් වලින් අවුල් වී සිටින විට දෙවියන්වහන්සේ ජීවිත කුණාටු මධ්‍යයෙහි අප සමග සිටින බව අමතක කිරීමට අපට පහසුය. “කුමක් නිිසා සැක වූයෙහිද?” (31 පදය) කියා යේසුස්වහන්සේ පේතෘස්ගෙන් ඇසූ සේක. අප කුමක් තුළින් ගමන් කළද උන්වහන්සේ එතැනය. උන්වහන්සේ මෙතැනය. එම මොහොතෙහිද මේ මොහොතෙහිද අප අසළය. අප පසෙක සිටිමින් අපව ආරක්ෂා කිරීමට උන්වහන්සේ සුදානම්ය.