මම මාගේ මිත්තණියගේ බයිබලය පෙරළමින් සිටියෙමි. හදිසියේම වටිනා වස්තුවක් මගේ උකුළට වැටුණේය. කුඩා කඩදාසි කැබැල්ලක කුඩා දරුවෙකුගේ අකුරෙන් වචන කිහිපයක් එහි ලියා තිබුණි. “සිතින් දිළින්දෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය. ශෝකවන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු සනසනු ලබන්නෝය.” (මතෙව් 5:3-4). ඒ අසලින් තිබුණේ ඇදවූ අකුරෙන් කරන ලද මාගේ මවගේ අත්සනයි.

මගේ මිත්තණියගේ පුරුද්ද වූයේ ඔවුන් බයිබල් පද ඉගෙන ගෙන සිතට ගන්නා පිණිස ඒවා ලිවීමට ඉගැන්වීමයි. එම පදවල පසුපස තිබු කථාන්තරය මාගේ නෙතට කඳුළු ගෙනාවේය. මාගේ මව කුඩා කාලයේදී මාගේ සීයා මියගියේය. එසේම ඇගේ කුඩා සහෝදරයා (මාගේ මාමා) ඊට සති කිහිපයකට පසුව මිය ගියේය. මෙම ඛේදනීය කාලයේදී මගේ මිත්තණිය මගේ මවට යේසුස්වහන්සේ සහ උන්වහන්සේට පමණක් දිය හැකි සහනය හඳුන්වා දුන්නාය.

පාවුල් තිමෝතිට ලීවේ “ඒ ඇදහිල්ල පළමුකොට නුඹේ ආච්චිවූ ලොයිස් තුළද නුඹේ මෑණියන්වූ එවුනීකි තුළද වාසයකළාය. නුඹ තුළත් එය වාසයකරන බව විශ්වාසකරගන සිටිමි” (2 තිමෝති 1:5) කියාය. ඇදහිල්ල උරුමයෙන් ලැබෙන්නක් නොවේ. නමුත් එය බෙදා ගනු ලැබේ. තිමෝතිගේ මව සහ ආච්චි ඔවුන්ගේ ඇදහිල්ල ඔහු හා බෙදා ගත්තෝය. ඔහු විශ්වාස කළේය.

යේසුස්වහන්සේ තුළ බලාපොරොත්තුව තබන පිණිස අපි අපට සමීප අයව දිරිමත් කරන විට අප ඔවුන්ට ප්‍රේමයේ උරුමයක් දෙන්නෙමු. සරළ ලිපියක් තුළින් මාගේ මිත්තණිය තම ගැළවුම්කරුවාණන් සහ පවුලේ අය වෙත තැබූ ප්‍රේමයේ සාක්ෂියක් මාගේ මව තබා ගියාය. උන්වහන්සේ ගැන අපෙන් පසුව එන අය හා බෙදා ගැනීම කෙතරම් අනර්ඝද!